නාමෙ නොදිරනා

 බ්ලොගය පටන් ගැනීමෙදි ඇයි මේ සිංදුවක් ඇදගෙන කියල බලයි‍.ඒ්. එම්. යූ. රාජ් වෙන විිධියකින් කීව‌ොත් අමු රාජ් මහත්තයා කියපු සින්දුව ඇදගෙන කරන්න හදන ද‌ේ නම්වල වරුණෙ කියන්නයි. සුගත තථාගත බුදු පියාණන් වහන්සේ මීට අවුරැදු 2565කටත් පෙර දේශනා කරපු රූපං ජීරති මච්ඡානං නාම ගොච්චං නජීරති කියන ඒ සදාතනික ඉගැන්වීම මුල් කරගෙනම ‌මෙම කටයුත්ත ආරම්භ කළ‌ේ බ්ලොගයේ නම නෙවෙයි මගේ නම ගැන කියන්නයි. නුරා නැතැයි කියන මගේ නම එහෙම තිබුණට මගේ හිත කෙළෙස් වලින් විනිර්මුක්ත නිකෙළෙස් එකක් නෙවෙයි. මොකද අපි රහත් වෙලා නැහැනෙ. දහම් පාසලේ කෙල්ලක් සමරු පොතක් දීලා ‌සමරු සටහනක් යොදන්න කීවාම 

"නැතිබව නියන නම හිතතුළ නැගුණු    නුරා
 අමතක නො වේවා හද   පණ ගැහෙන තුරා " 
කියල ලියන්න හිතුනෙ ඇයි කියල තවමත් කල්පනා කරන්නෙ එදා ඉදලා ඒ් ළමයා මාව දකිනවිට පිටුපා යන්නෙ ඇයි කියල හිතාගන්න බැරිවෙලා නිසායි. තවත් කෙනෙකුගෙ පොතක ජීවිතේ රෝසමල් යහනාවක් ‌වේවා කියන සාම්පරදායික සුබ පැතුම ලියල ඊට යටින් " බඹරු ඇවිත් ඇණ්නට අපි නෑ " කියල කථාවකුත් ලීවෙ ඒ්ක නිසාම වෙන්න ඇති. කොහොම වුණත් ප්රතිඵලේ ඒ්කමයි.

නමේ විස්තරේ කියන්න ගිහිං මොනවද මේ කියවන විකාර කියලත් හිතෙනවානෙ? කොහොම හරි ඔන්න ආපහු ට්රැක් එකට ආවා.
මං උපන් වෙලාවෙ ඉස්පිරිතාලෙන් ගෙදරට ගේන්න කළින් නම ලියාපදිංචි කරන්න වුණාලු. ඒ් කාලෙ අද වගේ නම ලියාපදිචි කරන්න මාසයක් කල් දෙන්න‌ෙ නැතිව තියෙන්න ඇති. තාත්ත‌ා ගෙදර ඇවිත් නමක් දාන්න නෙ කීවාම සීයා තමා තාත්තාව පොළඹවල තියෙන්නෙ එහෙම එක පාරටම නමක් නොදා කේන්දරේ අනුව ගැලපෙන නමක් දාන්න කියල. අපේ ගෙවල් වල අම්මට තාත්තට විතරක් නෙවෙයි සීයා ආච්චිටත් බලපෑම් කරන්න පුලුවන් තත්වයක් තමයි තිබුණෙ. සීයා එහෙම මගේ කේන්දරේ හැදෙවුවට එයා එයාගෙ කේන්දරේ පුච්චාපු එක්කෙනෙක්. කොහොම වුණත් එයා අවුරුදු 96 ආයු වළඳලාම දෙල් ගහකින් වැටිලා සුසුම්නාව කැඩිම නිසා අකාලයේ පරලෝ යන්න වෙන වෙලාවෙත් කියල තිබුණෙ "මෙදාපාර නං සෙනසුරා අරගෙනම යයි" කියලයි.
අපේ ගෙදර සීයා ආච්චිලාට එහෙම බලයක් ලැබෙන්න හේතුවකුත් තිබුණානෙ. හැබැයි හො‍ඳ වෙලාවට අම්මාගෙ දෙමාපිය දෙන්නාම එයාට අවුරුදු 12 ක් වෙන්න ඉස්සරම නැතිවෙලා. එයාලා මිය පරළොව යනකොට පවුලේ වැඩිමල් ගෑණු දරුවා වුණු අම්මාට හොද්දක් හරියට ඒ්දගන්න වත් බැරුවලු තිබුණෙ. එයාට ඒ්වා පුරුදු කරල තිබුණෙ ගඟලඟ ආච්චි.  එයාලගෙ ගෙදර තිබුණෙ දියවන්නාව අසළමයි. ඒ නිසායි එයා ගඟලඟ ආච්චි වුණේ. එයා අම්මාට උයන්න විතරක් නෙවෙයි කොණ්ඩ කැවුම් හදන්නත් උගන්නලා. අපේ පවුලෙ ගෑණු ළමයි හතර දෙනාගෙන්ම ඒ්ක පුලුවන් වුණේ චූටි නංගිට විතරයි. එයා ඒ් හැකියාවෙන් තමා කැනඩාවෙ සිට ලංකාවට එන්න ගුවන් ටිකට් ගන්න පවා මුදල් එකතුකර ගන්නෙ. 
තාත්තගෙ තාත්තා වුණු අර සීයා ගාල්ලෙ සීයා. එයාලගෙ ගෙයි වැට මායිමේ තමා ගාල්ලෙ කනම්පිටියෙ මෝඩ ඇල තියෙන්නෙ. ඒ්කෙ කපද්දි වුණු වරදක් නිසා ඇල දිගේ කරදිය රට ඇතුළට එනවාලු. ඒ නිසලු ඒ්ක මෝඩ ඇල වුණේ. ඇල දිහා බලාගෙන හිටියට වතුර රහ බලන්න ගියේ නැති නිසා කරදියද කියල බලන්න නම් බැරිවුණා. කොහොම වුණත් ඒ සීයා ගඟ ලඟ සීයා නොවී ගාල්ලෙ සීයා වුණු නිසා අපිට ගමේ යනවා කියල යන්න ගමක් හම්බවුණා. ගාල්ලෙ සීයා එහෙම වුණාට එයාගෙ භාර්යාව එහෙම නෑ. හොඳ ටම නිවුණු කෙනෙක්. යටගම ලොකුගේ රොසිනෝනා උපාසිකා මාතාව. එහෙමයි එයා ගෙ සොහොණෙ සවිකරන්න තිබුණු නාම පුවරුවෙ තිබුණෙ. එතකොට මං තුනේ පංතියේ. ඉංගිලිිෂිත් ඉගෙන ගන්නවා. වාර විභාගෙදි ඉංගිලිෂි වලට ලකුණු 92ක්ම ගත්ත මං හිතා හිටියෙ මාත් ලොක්‌කෙක් කියලයි. තාත්තා කලිසම් කෝට් ඇන්දාට සීයා වගේම සරම ඇඳ  කෝට් බෑය පොරවාගෙන ඉන්න මහප්පා මටවඩා මොනතරම් උගතෙක්ද කියා දැනගත්තෙ සිසිල්බීම වලට එයා කියපු එතෙක් මං කවදාවත් අහල නොතිබුණු aerated  water කියන වචනෙ ඇහුණාමයි. 
අපේ ආච්චි ගමේ වැඩිහිටි අයට ‌රොසිනෝනක්කා. තරුණ අයට රොසිනෝනා නැන්දා. ළමයිනට රොසිනෝනා ආච්චි. එයාගෙ මෘත කලේබරය ආදාහනය කළේ ගාල්ලේ කදුරුදූව ගමේ මාමාගෙ ඒ් කියන්නෙ තාත්තගෙ නංගි විවාහ වෙලා හිටපු ඩේවිඩ් මාමලාගෙ පවුලේ සුසාන භූමියේ. චිතකය හතරැස් පෙට්ටියක් වගේ වටේටම සුදු රෙදි වලින් වට කරල තිබුණෙ. ඒ චිතකය උඩ තමා " පරළෝ සැපැත් යටගම ලොකුගේ රොසිනෝනා උපාසිකාවට නිවන් සැප ලැබේවා " කියල සුදු රෙද්දක නිල්පාට තීන්තෙන් ඇඳලා තිබුණු පුවරුව සවි කරලා තිබුණෙ . චිතකය දැල්වූයේ බටදූවෙ සීයාගෙ ඒ් කියන්නෙ ආච්චිගෙ මල්ලිගෙ ලොකු පුතායි බාල පුතායි ඒ් කියන්නෙ රතු මාමයි රාජා මාමයි දෙන්නයි. පහුවදා එළි වෙනකොට දෙන මුලුමනින්ම දැවී ඉතුරු වුණේ පොල් කොට අටකුත් වට රාමුවේ සැකිල්ලත් අර නාම පුවුවත් විතරයි. ඒ්ක දැකපු හැමදෙනාටම පුදුමයි. ඒ්ත් ඩේවිඩ් මාමාගේ ඥාති සහෝදරයෙක් වුණු කදුරුදූ‌වේ නන්දසාර හාමුදුරුවෝ කීවෙ ඒ්කෙන් අර කලින් කියපු බුදුවදන සනාථ වුණු බවයි.

කොහොම හරි කේන්දරේ හදවන්න තාත්තා ගිහිං තිබුණෙ ලෝලිම්බවංශ මහත්තයා ලඟට. ඒ් තුමා ඒ් කාලෙ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෝතිශය උගන්වපු ගුරැතුමා. ඒ්තුමා දීලා තිබුණෙ "එ" යන්න. අද අපි නම් තියන්න අකුරු තෝරන කිසිම විධියකට මට "එ" අකුර එන්න බෑ. මං ජ්‍යෝතිශය හදාරල ඒ්ක දැනගන්නකොට ලෝලිම්භවංශ මහත්තයා පරලෝකප්පරාප්ත වෙලා. නැතිනං දුවල ගිහිං එතුමාගෙන්ම අහල දැනගන්න තිබුණා එහෙම වෙන හැටි. කොහාමහරි එයන්න උස්සාගෙන ගෙදර ආපු තාත්තා නම් හොයන වැඩේ හැමෝටම පැවරුවාලු. 

එක එක්කෙනා නම් කීවාලු. එමානුවෙල් එන්ගල් ඒ්බ්රහම් වගේ නම්. එලාරිස් එහෙම කියලත් කියන්න ඇති. හොඳ වෙලාවට බුද්ධ චරිතය හොඳට කියවපු අය ඉන්න නැතිව ඇති. බැරිවෙලාවත් හිටියානං ඒරකපත්තර වගේ නයෙකුගේ නමකුත් එන්න තිබුණා. එහෙම වුණානං නයි ඇරඇරම ඉන්න තිබුණා නම එහෙම නැතුවත් කරන මේ වැඩේ වගේ.

 කොහොමහරි අම්මා ඒ් එක නමකටවත් කැමති වෙලා නෑ. අන්තිමේදි නෙස්ට්රා නැන්දා තමා පුරස්නෙ විසඳලා දීලා තියෙන්නෙ අලුත් යෝජනාවකින්. එයාගෙ යෝජනාව කවුරුත් හිතපු නැති ඒකක්. 

නෙස්ට්රා නැන්දා කීවාම ඒ් නම අනගාරික ධර්මපාල තුමාව හිස්මුදුණින් අදහගෙන ඉන්න අපිගැන බැලුවාම අවුල් වගේ නේද? එයා තාත්තාගෙ ලොකු අම්මා වුණු මද්දු ආච්චිගෙ පුතා ඒ් කියන්නෙ පර්සි මාමා නොහොත් මේජර් පර්සි ගුරුසිංහ විවාහ වෙලා හිටපු කෙනා. මද්දු ආච්චි කියන්නෙ තාත්තාගෙ අම්මාගෙ ගෑණු ළමයි තුන් දෙනෙකුයි ඊට පස්සෙ උපන් පිරිමි දරුවකුයි හිටපු පවුලෙ ගෑණු දරුවො අතර දෙවෙනියා හෙවත් මැදියා. එහෙම එක වර්ගයක දරු තුන් දෙනෙකුට පස්සෙ අනෙක් වර්ගයේ දරුවෙක් උපදින එක අසුබ කාරණයක් කියනවානෙ. ඒ් නිසාම වෙන්න ඇති ඒ් සීයා මහා නරුම ගති ඇතිව සිටියේ කියල අපේ සීයා හෙවත් ගාල්ලෙ සීයා කියන්නේ. මද්දු ආච්චි අපේ තාත්තාගෙ අයියා  නංගි වගේම අපේ තාත්තාවත් හදාගන්න උදවු කළාලු. ඒ් අපේ සීයා රැකියාවට මඩකලපුවෙ පොලොන්නරුවෙ එහෙම ගිහිං හිටපු කාලෙ .
ඒ නෙස්ට්රා නැන්දගේත් අපේ පර්සි මාමාගේත් ආදර කථාවත් හරි රසවත් එකක්. ඒ දෙන්නගෙ තහනම් පලහිලවුව (නීතියෙන් නොවෙයි ගෙවල් වලින්) ඉස්සෙල්ලම මාට්ටු වෙලා තිබුණෙ අපේ සීයටමයි. ඇයි තුන් දෙනාම රාජකාරි කරල තිබුණෙ එකම දෙපාර්තමේන්තුවකනෙ. පර්සි මාමා මට හුඟක්ම ආදරේ වුණේ එයා වගේම මාත් රේඩියෝ ටෙලිකොම් වැඩවලටම යොමුවුණ නිසායි. එයාත් මගේ ජීවිතේ සකස් කරන්න බොහොම බලපෑ කෙනෙක්.
නෙස්ට්රා නැන්දා උපතින් කතෝලික. ජාතියෙන් බර්ගර්. ඒ්ත් එයා අනික් දන්න කියන බර්ගර් ගෑණු වගේ කවදාවත් කොට ගවුමක් ඇඳලා ඉන්නවා මම දැකලා නෑ. ඉන්දියන් විදියට සාරියකින් සැරසුණු එයා පල්ලියටත් පන්සලටත් ගියා. එයගෙ මේ අමුතු යෝජනාවත් අමුතුම ඒකක්. ඒ්ක තමා සිංහල ඒ වෙනුවට ඉංගිලිසි A ගමුයි කියන යෝජනාව. එහෙම කරල මට "අනුර" කියන නම යෝජනා කරල තියෙන්නෙත් එයාමයි.

හින්දි කියමනක් තියෙනවාලු "ගානෙ ගානේ පෙ ලිඛාහෙ ගානේ වාලේකා නාම් " කියල. ඒ් කියන්නෙ ලියවෙන හැම ගීයකම ලියවෙනවාලු ඒ් ගීය ගයන කෙනාගෙ නමත්. යම් ගායකයකුට කියා හිතාගෙන ලියපු සමහර ගීත අහඹු සිදුවීමක් නිසා වෙන කෙනෙක් අතින් ගායනා වෙලා ජන පිළිගැනීම් ලබපු අවස්ථා බොහොමයක් ගැන ගීත සාහිත්‍යය ඉතිහාසයේ තියෙනවානෙ. ඈතම අතීතයට නොගියත්  " මැණිකේ මගේ හිතේ ..." ගීතය ගැන බැලුවත් කථාව ඒ්කමනෙ. එක ගායකයෙක් වෙනුවෙන් ලියැවුණු ගීතයක් වෙන කෙනෙක් අතින් වැරදුනා අතින් නෙවෙයි කටින් ගායනා වෙලා ජනපිළිගැනීම ඉහළින්ම ලබපු ගීත ගැන දන්න අයට මේ එක්කම ආයාචනාවන් යොමු කරන්නෙ එහෙම දේවල විස්තර ටිකක් අපේක්ෂිිත ගයකයාගේ නම ගීතය ගැයූ ගායකයාගෙ නම එක්කම ගීතයේ මුල් පද වැළත් ගේය පද රචකයාගේ නමත් අපිට කියන්න කියලයි. එහෙම වෙන්න සැඟවුණු ශබ්ද විද්‍යාත්මක හේතුවක් තියෙනවාද කියලා පර්යේෂණයක් කරන්න බලාපොරොත්තු වෙන නිසායි ඒ්.
කොහොම වුණත් මේ නාමකරණ මංගල්‍යයෙන් මට විශාල ලාභයක් වුණා. ඒ් තමා මට අණවිණ කරන්න අපහසු වීම. මොකද අණවිණ වලදී උපන් වෙලාවේ තත්වය සහ නම භාවිතා කරනවානෙ. මගේ නම අනුව ගත්තොත් උපන් වෙලාවට අකුර ගැලපෙන්නෙ නැතිනිසා ඒ් බල අඩුවෙලා යනවා. උපන් වෙලාවට ගත්තොත් නම වෙනස් නිසා බල අඩුවෙනවා. දෙමාපියන් අතින් වෙන්නෙ හොඳක්මයි කියන්නෙ ඒ්කයි.හැබැයි දෙයියනේ මං උපන් වෙලාවෙ හැටියට මගේ කටින් ශාපයක් කෙරුණොත් නං ඉතිං එයාට නං අබසරණයි. ඒ් නිසා මං එහෙම කොරන්න හිතන්නෙමත් කලාතුරකින්. ඒ් මට ඉවසන්නම බැරිතරම් අසාධාරණයක් වුණොත් තමා. එහෙම වුණු ඒ්වා ගැනත් තව හුඟක් දේවල් ගැනත් අපට කථා කරගන්න පුලුවන්
නම ගැන මුලින්ම ලියන්න හිතුවෙ ඒ්ක වටා තියෙන කරුණුවල විශේෂත්වයක් දැනුණු නිසායි.








කාර්මික අධ්‍යාපනේදී

  විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාල...