ගුරු ඇසුරේ නුවණ ලබා

 

ගුරු ඇසුරේ නුවණ ලබා

දිග කාලෙකින් පස්සෙ ආපහු හමුවුණේ. ඒ්කට හේතුව අසනීප තත්වයක් නිසා රෝහල් ගතවීමට සිදුවීමයි. දැන් තරමක් සුවයි. ඒ් ඇති.  අපේ වැඩේට බහිමුකෝ.

ලෝකේ හිටපු වඩාත්ම උගත් ගුරුවරයා හැටියට සැලකෙන්නෙ ව්‍යාස ඍෂි වරයා. ව්‍යාස විසින් කළ දේ කියන්න “ව්‍යාසකාරය” වුණු පොතේ කියැවෙන එක උපදේශයක් මෙහෙම ලියැවෙනවා.

ආත්ම බුද්ධිඃ සුඛං සේති -  ගුරු බුද්ධිඃ විශේෂතා

ස්ත්‍රී බුද්ධිඃ විනාශාය -  බහු බුද්ධිඃ මරණං භවේත් කියල. මේකෙන් කියන්නෙ තමාම හිතල කරන දේ සැපයට හේතු වෙනව‍‍‍‍ය; ගුරුවරයාගෙ බුද්ධියත් යොදා ගත්තාම ඒකෙ විශේෂ දෙයකුත් පේනවාය කියල කියන එකක්. ශ්ලෝකෙ සම්පූර්ණ වෙන්න ඔනෙ නිසා කීවත් තුන්වෙනි පදය කියන දේ මං නං ඒ තරං පිළිගන්න කැමති නෑ. මං ඉහළින්ම අදහන ගුරුවරයා වන බුදුහාමුදුරුවො “නසෝ සබ්බේසු ඨානෙසු -  පුරිසෝ හෝති පණ්ඩිතා

                       ඉත්ථිපි පණ්ඩිතා හෝති -  තත්ථ තත්ථ විචක්ඛණා” කියල හැම තැනදිම පිරිමින්ම පණ්ඩිත  නොවෙන බවත් තැනට සුදුසු ආකාරය විමසා කටයුතු කිරීමට හැකියාව අනුව ගැහැණුත් පණ්ඩිත වෙන බවත් කියා තියෙන නිසාම තුන්වැනි පදේ ගැන කියන එක නතර කරලා හතරවෙනි පදේ කියන වැදගත්ම අදහස කියන්න හිතුවා. හැමදෙනාම හිතන විධියට කරන්න යෑම මරණයට හේතු වෙන බවයි ඒකෙ කියන්නෙ.

පන්ඩිතයො දෙන්නෙක් ඉන්නවා කියල අහල තිබුණාද? එක්කෙනෙක් පණ්ඩිතයා. අනෙක් එක්කෙනා පංඩිතයා. ඒදණ්ඩෙ යන්න බෑ කියුවෙ අර පළවෙනියට නෙවෙයි දෙවෙනියටයි. පණ්ඩිතයා කියන්නෙ උගත් කමයි බුද්ධිමත් කමයි කියන දෙකම තියෙන හිතලා නිවැරදිව වැඩක් කරන්න පුළුවන් කෙනාට. දෙවෙනියා කද කරේ තියාගෙන යන කෙනා. අද එහෙම අය දකින්න දුර්ලභ වුණත් ඉඳල හිටල හරි දැක්කොත් බලාගන්න පුළුවන් එයාලා කද කරේ තියාගෙන යද්දී ඇවිදින්නේ ගැස්සෙමින් වගේ යන රිද්මයකට කියලා. පංඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කීවෙ අර කියාපු රිද්මයට ඒදණ්ඩෙ යන්න බැරි නිසායි. අපේ ජනවහර නිකම්ම එකක් නෙවෙයි ලොකු දැනුම් අත්දැකීම් ගොඩක් එක්ක හැදුණු එකක් බව ඒකෙන්ම පේනව නේද?

ගුරුවරු කීවාට හැම ගුරුවරයාම එකවගේ නැහැ. තමාගේ අනුදැණුම නැතිව හොරෙන් බලාගෙන ඉදල දුණු ශිල්පය ඉගෙනගත්ත ගෝලයගෙන් ගුරු පඬුර හැටියට වම් අතේ මහපට ඇගිල්ල කප්පවා ගත්තු ගුරුවරයෙක් මහා භාරතයේත් හිටියානෙ. ඇයි අංගුලිමාලගෙ ගුරුතුමා? මේ කියන ගුරුවරු එහෙම අය නෙවෙයි. ගෝලයාගෙ ජීවිත ගමන සාර්ථක කරගන්න කොන්දේසි විරහිතව උදවුවෙන උපදෙස් දෙමින් මග පෙන්වන ගුරුවරු ගැනයි. අර සුනිල් එදිරිසිංහ කියන පෙන්නා මග නොමග නොවැටී යන තාලේ කියන උදාර සේවය කරණ ගුරුවරු ගැනයි. මට හමුවුණු ගුරුවරු අතරෙ හිටපු එහෙම ගුරුවරු දෙදෙනෙක් ගැනම විස්තර සත පහේ අගේ පෝස්ටුවේදිත් අපට අනේ මගක් ඇතේ පෝස්ටුවේදිත් ලියැවුණා මතක ඇතිනෙ. ඒ විධිමත් අධ්‍යාපණ වැඩසටහනේදි හමුවුණු අය අතරෙ සිටි එහෙම අය අතර දෙන්නෙක් විතරයි.

විධිමත් අධ්‍යාපණයට වඩා ජීවන මග සකස් කරන්නේ අවිධිමත් අධ්‍යාපණය කියනඑකයි මගේ පෞද්ගලික පිළිගැනීම. මගේ දැක්ම අනුව නම් විධිමත් අධ්‍යාපණ වැඩපිළිවෙලක් ඉතාම සුදුසු වෙන්නේ භෞතික විද්‍යාව ගණිතය ව්‍යාකරණය වැනි විෂයයන් සදහා පමණයි. අනෙක් විෂයයන් බොහොමයක් වඩා හොදින් අධ්‍යයනය කිරීමට ඉතාම සුදුසු වෙන්නේ අවිධිමත් අධ්‍යාපණය බවයි මගේ නම් පිළිගැනීම. ශිෂ්‍ය කේන්ද්‍රීය  අධ්‍යාපණය  කියන දේ හරියටම කෙරෙන්නේ එතනදී බවයි මගේ පිළිගැනීම. මේක සිංහල බෞද්ධ අපට අමුතු දෙයක් නෙවෙයි. එදා පිරිවෙණ් අධ්‍යාපණ ආයතනවල තිබුණේ එහෙම විධියක්. එක එක හැකියා ඇති උගතුන් බිහිවුණේ ඒ නිසායි. තම තම නැණ පමණින් දැනගතයුතු බව කීවෙ ඒක කියලයි මං හිතන්නෙ.

මං ධර්මාචාය්‍යර්‍ සමත්වුණාම ජිනදාස සර්ට ඒකියන්නෙ අපිට අභිධර්මය හා වඤ්චනික ධර්ම පාඩම් කියාදුන්නු සර්ට ඔනෙවුණේ ඒ දවස්වල දායක සභාවෙ  පිරිසට මාස්පතා පවත්වන ධර්මකථා මාලාවෙ කථාවක් මං ලවා පවත්වන්නයි. සී. ඇම්. ජිනදාස. අපි එයා නැතිතැන එයා විතරක් නෙවෙයි අපේ පංතියේම හිටපු ම‌ගේ හොදම මිතුරා වුණු එතුමාගෙ පුතා රෝහණත් නැති තැන්වල අපි එයා හැදින්නුවෙ සෙන්ටිමීටර් කියල. බෝපැළ වගේ පෙනී හිටියත් අපේ ආවේණික නසරාණි ගතිය නේ. ඒ නම යෝජනා කළේත් මංමයි. ඒක තවත් සර් කෙනෙකුගෙන් අල්ලගත්ත කෑල්ලක්. අපේ ඉස්කෝලෙ දහයෙ පන්තියෙදි ව්‍යවහාරික ගණිතයත් උසස් ගණිතයත් ඉගැන්නුවේ උප විදුහල්පති සී. එම්. වීරරත්න සර්. ව්‍යවහාරික ගණිතයේදී රාශි මැන තිබෙන ඒකක සදහන් කිරීම හරි වැදගත්. එයා සෙන්ටිමීටර් දක්වන්න cm කියල ලියලා කීවෙ “සී එම් කියන්නෙ සෙන්ටිමීටර්” කියලයි. එහෙම එකම දේ දෙපාරක් කීවාමයි අපට වැඩේ මීටර් වුණේ.එදා ඉඳල එයා සෙන්ටිමීටර් වීරරත්න. ජිනදාස සර් සෙන්ටිමීටර් වුණේත් එහෙමයි.

  “අනුර ඔයා හොඳ මාතෘකාවක් තෝරාගෙන හොඳ හරබර දේශනයක් කරන්න ඔනෙ. මං ඒ අයට කියල තියෙන්නෙ ඔයාගෙ හැකියා ගැන. මාවත් බේරගෙන දහම් පාසලේ නමත් බේරගෙන ඒ වැඩේ ඉහළින්ම කරණ එක ඔයාට භාරයි” ජිනදාස සර් මට වැඩේ භාර දුන්නෙ එහෙමයි. ඒ දායක සභාව එසේ මෙසේ එකක් නෙවෙයි. අධිනීතිඥ සිරි පෙරේරා ඇලෙක් රොබට්සන් සිරි අයියා හෙවත් යූ. ඒ. එස්. පෙරේරා ආචාර්‍ය්‍ය ලක්ෂ්මන් ආර් වටවල වගේ උගත් පිරිසක් තමා ඉන්නෙ. මූලාසනයේ ඉන්නෙත් කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙ කෝට්ටේ පාර්ශවයේ මහානායක ධූරන්ධර දේවහන්දියේ සද්ධාතිස්සාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ. ඒ ලඟම පුටුවෙ වැඩ ඉන්නෙ ශාස්ත්‍රාචාර්ය ගරු හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ. ඒ අය ඉස්සරහ ධර්ම කථාව කරන්න කීවාම මට දැණුනෙ පිහිණුම් බැරි කෙනෙක් තටාකෙ ගැඹුරු පැත්තෙන් වතුරට දැම්මා වගේ.

මං පිහිට හොයාගෙන ගියේ ධර්මපාල සර් ලගට. එයා තමා රාහුල දහම් පාසලේ විදුහල්පති තුමා. මමත් එතුමා යටතේ රාහුල දහම්පාසලේ ටික කාලයක් උගන්නලා තිබුණු නිසා එතුමා මගේ හැකියා ගැනත් තරමක් දැනසිටියා. මීගමුවේ තිඹිරිගස්කටුව මහා විද්‍යාලයේදී ගුරුවරම් ලබා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක ගුරු මණ්ඩලයේ සේවය කර පැන්ශන් ගොස් සිටි එතුමා එවැනි අමාරු තැන්වලට උපකාර ලබාගන්න හොදම උපදේශකයෙක්.

පවුලට අලුතින් එක්වූ දිනයේ ලේලිය සමග 
චම්පා ධර්මපාල මැතිණිය ලංකා ධර්මපාල සර් සහ ගංගා


පසු කාලීනව මගේ විවාහයේ මිතුරාගේ චරිතයට තෝරා ගැණුනු එතුමාගෙ පුතා වුණු ලංකා හෙවත් ලංකේශ්වර ජයකොඩි සොහොයුරා මගේ පළමුවැනි ඉලෙක්ට්‍රොනික් ශිෂ්‍යයා ලෙස  පුහුණු කරවීම ගැන එතමාගෙ හිතේ මංගැන තිබුණු හැගීමත් නිසා වෙන්න ඇති එතුමා මට බොහෝ තැන්වල උපකාර කළා.එදා එතුමාගෙ උපදේශය තරමක් අමුතු එකක්. “පුතා ඔතැන ඔයා කර්මය පුනර්භවය චතුරාර්‍ය්‍ය සත්‍යය වගේ ගුඹුරු දෙයක් ගැන කථා කරන්න ගියොත් ඔයා අමාරුවෙ වැටෙන්න පුළුවන්.  ඔතැන කථා කරන්න ඔනෙ හුඟක් තොරතුරු කියන්න පුළුවන් සරළ දෙයක්. මං කියන්නං හොද මාතෘකාවක්. ඔයා කථා කරන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන සරණාගමන පාඨය ගැන. මතකයිනෙ අර සැරියුත් හාමුදුරුවන්ගෙ ගෝලයෙක් වුණ තිස්ස සාමණේර හාමුදුරුවො අර සුඛී හෝතු දුක්ඛා පමුජ්ජතු කිය කිය හිටිය ඒ ගැනම රහත් වෙන්න තරම් බණ කියාපු. ඒ වගේ කරන්න”

කරන්න ඔනෙ වැඩේ මට හොදටම තේරුණත් කෝ තොරතුරු. ඒවත් ධර්මපාල සර්ගෙන්ම තමා. “ඍ සරති” සහ “ස්මෘ ස්මරති” ක්‍රියා මූල දෙකෙන් හැදෙන සරණ කියන කෘදන්තයේ නිශ්පත්තිය බෞද්ධයෙක් වෙන්නත් මහණ වෙන්නත් සරණාගමණය අවශ්‍ය වෙන හැටි විතරක් නෙවෙයි; මහණ වීමෙදි තියෙන සරණාගමන දෙක වගේම සරණාගමන තුනත්, සරණ බිදෙන හොද සහ නරක විධි ගැනත් කීවෙ සරණ යෑමෙන්ම සුගතිගාමී වුණු අය දෙන්නෙකුගෙ කථාත් ඇතුළත් කරළා. මං කළ කථාවට අධිනීතිඥ සිරි පෙරේරා මහත්මයා ස්තුති කථාව කරමින් කීවේ අවුරුදු විසි දෙකක තරුණයෙකුගෙන් එබදු කථාවක් අහන්න ලැබීමම සතුටක් කියලයි. කොහොම හරි මටවත් වෙන කාටවත් හරියට නොතේරෙන කර්මය පුණර්භවය වතුරාර්‍ය්‍ය සත්‍යය වගේ දෙයක් නැතිව ඒ වගේ සරළ වැදගත් දෙයක් කියන්න තෝරා ගැනීමේ ඉඳල පින් ලැබෙන්න ඔනෙ ඒ මාතෘකාව හුන්නල දීපු ධර්මපාල සර්ට. කවදත් අමුතු විධියට කථා කියන ජිනදාස සර් එදා රැස්වීමෙදිම විශේෂ ස්තුතියක් කරමින් ඉල්ලා සිටියෙ මින් මතු එවැනි ධර්ම කථාවක් කරණ හැම විටෙකදිම එයාටත් ඒකෙන් ලැබෙන පින් වලින් ටිකක් අනුමෝදන් කරවන්න කියලයි.දෙනකොට අඩුවෙන දේවල් වලින් පිරුණු ලෝකෙ තියෙන දෙනකොට වැඩිවෙන එකම දේ ගැන ලෝභ වෙන්නෙ මොකටද? එදා ඉඳල මං ධර්ම කථාවක් කරන හැම තැනෙදිම මං ඒ දෙන්නාටම පිං අනුමෝදන් කරවීම පුරුද්දක් හැටියටම කරනවා.

හිතන්න ඔනෙ හැටි වෙනස් කරගන්න ඒ වගේ උදවු කරපු අය තව ඉන්නවා. ඒ අයගෙන් ජීවිතේට ලැබුණු එළිය ගැන මේ වගේ ලියන්නෙ තමාට මං ලබපු අත්දැකීම තමාගෙම අත්දැකීමක් කරගෙන ජීවිතේ මග හරි පැත්තට හරවාගන්න උදවුවක් වෙන්නයි. කලියුගේ අපට ලැබෙන පරමායුෂ අවුරුදු එකසිය විස්ස තමාම ඒ අත්දැකීම් ලබාගෙන කරගන්න කල් මදිවෙන නිසායි ඒ.

මගේ ජීවන දැක්ම වෙනස් කළ තව කීප දෙකෙත්ම ඉන්නවා. ඒ හැම දෙනා ගැනම එකෙන්ම කියල ඉවර කරන්න බෑ. පුද්ගලයො වෙනස් වගේම ඒ අය ඒවා කළ විධිත් වෙනස් නිසා වෙන වෙනම ලියන්නං. අදට මේ ඇතිනෙ.

7 comments:

  1. ගෙන දෙයි සතුට 'රචනය ගැන යළි ලිපියක්'
    තජක දෙසුම් ගැන හේමත් වුණා මතක්
    තියරි වගෙද, ප්‍රායෝගික වෙමින් හුඟක්
    ලද අත්දැකුම් සටහන වටිනවා ගොඩක්

    ReplyDelete
  2. අසනීප වූබව නිදිගෙන් දැනගත්විට කණගාටු උනා. තරමක් සුව බව දැනගන්න සතුටුයි. ඉක්මනින් පූර්ණ සුවය පතනවා.

    ReplyDelete
  3. මහ පණ්ඩිතයෙක් කියලා හිතාන හිටියට ඒදණ්ඩෙ යන්න බැරි පංඩිතයා ගැන දැනගත්තේ අදයි

    ReplyDelete
  4. ජයවර්ධනපුර රෝහලේ 12 වාට්ටුවේ අයත් බිරිඳත් දුවත් බෑනාත් නිසා මෙගොඩ ආවා

    ReplyDelete
  5. https://sardhiyel.blogspot.com/2022/04/blog-post.html

    ReplyDelete
  6. අදයි ආවේ හුඟ කාලෙකට පස්සෙ🥰
    සර් ආයේ ලියලම නෑ නෙ

    ReplyDelete
  7. මවගේ අභාවයත් මගේ අසනීප තත්වයත් ලිවීම් තාවකාලිකව නතර කරලා. පෙළ ගස්වා තියෙන තවත් දේ තියෙනවා ටිකෙන් ටික ඒවා සකසා ඉදිරිපත් කරන්නම්

    ReplyDelete

ගුරු ඇසුරේ නුවණ ලබා

  ගුරු ඇසුරේ නුවණ ලබා දිග කාලෙකින් පස්සෙ ආපහු හමුවුණේ. ඒ්කට හේතුව අසනීප තත්වයක් නිසා රෝහල් ගතවීමට සිදුවීමයි. දැන් තරමක් සුවයි. ඒ් ඇති.  අපේ ...