සත පහේ අගේ

 ඒ් කාලෙ සතියකට තියෙන දින ගණන හතක්ම නෙවෙයි. සමහර සතිවල හතක්. සමහර සතිවල අටක්. මේ කියන්නෙ සෙනසුරාදා ඉරිදා නිවාඩු වෙනුවට පෙරපෝය සහ පෝය කියලා දවස් දෙකක් තිබුණු කාලෙ. ඒ් කියන්නෙ 1964 විතර කාලෙ. 

ජයවර්ධනපුර අභිමානය
පාසල් දෙකක එක ලාංචනය




මං එකම පංතියක ඉඳ‌ං ඉස්කෝල දෙකකට ගිය කෙනෙක්. පුදුමයි නේද?
එහෙම වුණේ පාසල් ප්රතිසංවිධානෙ කියල ද‌ේකට පිං සිිිිද්ධ වෙන්නයි.
මං ඇතුල් වුණේ ක්රිස්තියනි විද්‍යාලයට. අවුරුද්දක් යන්නත් ඉස්සර මෙන්න මං වෙන ඉස්කෝලෙක. ඒත් එකම පංතියෙ. එකම සෙට් එක එක්ක.

 අපේ පංතිය තිබුණේ ඉස්කෝලෙ පැරණිම ගොඩනැගිල්ලෙ. ඒ්ක බාගෙ බිත්ති වලින් වටවෙලා තිබුණු පොල්අතු හෙවිලි කළ ගොඩනැගිල්ලක්. අවුරුදු 180ක් වෙන ඉස්කෝලෙ පැරණිම ගොඩනැගිල්ල ඒ්ක කියලයි හැම දෙනාම කීවෙ. අවුරුදු පහකට විතර සැරයක් ඒ්කෙ පොල්අතු හෙවිල්ලපු බව ලොකුමාමා කියනවා මට මතකයි.ලොකු මාමා ඒ් කියන්නෙ අම්මාගෙ අයියා ඉගෙනගෙන තියෙන්නෙත් ඒ් ඉස්කෝලෙන්ම. එයා ක්රේන්බ්රිජ් සීනියර් කාරයෙක්. එතකොට ඒ්ක Christian College. මං මේ කියනකාලෙ වෙනකොට ඒ්කෙ පාලනේ ළමයි ගුරුවරු විතරක් නෙවෙයි නමත් වෙනස් වෙලා. ශ්රී ජයවර්ධනපුර මහාවිද්‍යාලය වෙලා. ඒ්ත් ඒ් පරණ ගොඩනැගිල්ලේ වහලය සවිකරපු බාල්කකඳන්වල වටිනා උපදෙස් ලියා තිබුණා. ගණ්ඩාන්තෙක ඉපදුණු මං හැමදාම කරනවා වගේ තෝරාගත්තෙ අන්තිම පේළියේ කෙළවර. පංති නායකයා වුණු මට පංතියේ ඕනෑම තැනක ලැගුම්ගන්න අවසරයකුත් තිබුණා. මං ගුරුතුමා ඒ් කියන්නෙ පියතිලක සර්ට කීවෙ එහෙම හිටියාම මට අනෙක් අය කරන දේවල් පේන නිසා මගේ වැඩේට ලේසියි කියලයි. පියතිලක සර් ඒ්ක පිළිගත්තෙ හමුදා සේනාංකයක සාජන් වරයා ඉන්නෙත් එහෙම තමා කියමින්. මගේ ඇස් මානේ පෙනෙන බාල්ක‌ කඳ සරසල තිබුණු වැකිය කවි පද දෙකක්. ලිවුවෙ කවුද දන්නෙ නැති වුණාට ඒ්කෙ තිබුණෙ හරි වටින අදහසක්. අපි අහල දැනගෙන තියෙන්නෙ කාලය රන් හා සමානයි කියලා නෙ. ඒත් ඒකෙ තිබුණෙ මෙහෙමයි.

කාලය වටියි  රන් මිණි  මුතු  වලට  වඩා

එය දැනගත යුතුයි හැම ළමයෙකුම කුඩා 

කාලය ගැන මගේ ආකල්ප ඇතිකරන්න ඒ වැකිය හුඟාක් දුරට ඉවහල් වෙන්න ඇති. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා හිටපු මට සර්වොදය නායක තුමාට ඒ කියන්නෙ ඒ. ටී. ආරියරත්න මහත්තයාටත් පාඩම් උගන්වන්න පුලුවන් තරමේ ආත්ම ශක්තියක් ආවෙ ඒ් නිසා වෙන්න ඇති.

ලොක්කෙක් එනකම් පොඩි අපි කාලය මරන්න ඕනෙ නෑ මොකද ලොක්කගෙ කාලය එයාට වටිනවා වගේම පොඩි අපිට අපේ කාලෙත් වටිනවා. ඒ්ක තමා කාලය ගැන මගේ දර්ශනය.

හෙඩිමත් එක්ක මේවා කියනකොට හිතාවි කාලය වටින්නෙ සත පහද කියලත්. සත පහේ කථාව ඒ්ක නෙවෙයි. 


දවසක් පෙර පෝයට කලින්දා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිය අපි පෝයට පහුවදා ඉස්කෝලෙ එනකොට අපේ පංතිය නෑ. වහලෙ තිබුණෙ බිත්ති කණ්ඩිය උඩ. කොහොම හරි අපට මාස හතරක්ම ඉන්න වුණේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලෙ පන්ති කාමරවලට යන්න තිබුණු කොරිඩෝවෙ. අපි විතරක් නෙවෙයි;පංති තුනක්ම. කොහොම හරි වැ. ස. සුමනසේන සර් ඒ් කියන්නෙ කණිෂ්ට අංශයේ ප්රධානාචාර්ය තුමා පංති කාමර හතරකට සෑහෙන ගොඩනැගිල්ලක් හදන්න මුල්වෙලා වැඩකළා. වැස අකුරුවලින් කියැවුණේ මෙකක්ද කියා අදටත් දන්නේ නෑ. එතුමා තමා අපේ පාසලේ කණිෂ්ට අංශයේ එවකට හිටපු ජාතික ඇඳුම ඇඳපු  එකම ගුරුවරයා. පස්සෙකාලෙ නං පියසේන සර් එහෙමත් හිටියා. කොහොම වුණත් ළමයි අතර එයා රෙද්දා. 

උඩ උතුරු ඉන්දියාවේ
යට දකුණු ඉන්දියාවේ
ජාතික ඇඳුු ම කියල අපි හිතාගෙන හිටියෙ සරමයි බැණියමයි කියලයි. හොයල බලනකොටයි අපි දැනගත්තෙ වේට්ටිය කියන්නෙ නිකම්ම නිකම් රෙද්දක් බව. ජාතික ඇඳුුම කියල කීවට හරියට බැලුවොත් ඒ්ක දෙමුහුන් ඇගලුමක්. උඩ කෑල්ල උතුරු ඉන්දියානු යට කෑල්ල දකුණු ඉන්දියානු. ඒ් නිසායි එයා රෙද්දා වුණේ. 

වාමාංශික අදහස් තදින්ම ගත්ත සුමනසේන සර් වැඩ‌ කළේ අමුතුම පිළිවෙලකට. එයා මුලු ගොඩනැගිල්ල හදන්න යන වියදම කොටස් වලට බෙදලා. රුපියල් 250; රුපියල් 100; රුපියල් 50; රුපියල් 10 හැටියට. දෙමවුපියන්ට ඒ් කොටස් අලෙවි කළා. මුදල ගෙවන්නත් වාර හතරක් කල් දීලයි තිබුණෙ. 

රුපියල් 10කට හතර වතාවක් මොටද කියල හිතෙන නිසායි මේ මතක් කරන්නෙ. ඒ් කාලෙ අද රුපියල් 60කට ගන්න ග්රෑම් 350 හෙ පාන් ගෙඩිය නෙවෙයි රාත්තලක් වුණු ඒ් කියන්නෙ ග්රෑම් 450කම පාන් ගෙඩිය රුපියල් නෙවෙයි ශත විසි පහට කාපු කාලෙ බව. පියතිලක සර් රුපියල් 250ක කොටසක් පංතියෙන් එකතු කරල දෙන පොරොන්දුව පිට භාර අරගෙන. ඒ් රැස්වීමට ගිහිං හිටපු තාත්තාත් සර්ට කීවාලු අපි කොහොම හරි ඒ් කොටසට සල්ලි ඒකතු කරල දෙමු කියල. තාත්තා ගෙදර ඇවිත් කීවෙ සර් භාර ගත්තට කෙරෙයිද කියන්න බෑ; අපිටත් වැඩිපුර යමක් දෙන්න වෙයි කියලයි. රැස්වීම තිබුණෙ පෝය දවසෙ. ඊට පහුවදා පියතිලක සර් පංතියේ ළමයින්ට කථාවක් කළා.
අපේ පංතිය තිබුණු තැන
වම් පැත්තේ හිස් බිම් කොටසේයි අපේ පංති ගොඩනැගිල්ල තිබුණෙ


"අපිට අපේ පංතිය නැතිවුණා. ඒ්ත් අපි කණගාටු වෙන්න නරකයි. මොකද අපිට අලුත් පංති කමරයක් ලැබෙනවා අලුතින්ම හැදෙන ගොඩනැගිල්ලක. දැන් අපිට තියෙන්නෙ ඒ්ක ඉක්මනින්ම හදාගන්න එක. ඒ්කට අපි හැමදෙනාම එකට එකතුවෙලා වැඩ කරන්න හිතාගනිමු"

ඊට පස්සෙ සර් මට කථා කරල මෙහෙම කීවා. " අනුර අද තාත්තා ගෙදර ආපු ගමන් තාත්තට කියන්න මං කිවුවා කියල ‌රාත්තල් පහේ කිරිපිටි ටින් එකක පියනෙ කාසි කටක් හදල ටින් කැටයක් හදාදෙන්න කියල. මතක ඇතුව ඒ්ක හෙට එනකොට අරගෙන එන්න"

මං තාත්තාට කීවාම තාත්තා ටින් කැටය හදා දුන්නා මං පහුවදා ඉස්කෝලෙ ගියේ ඒ්කත් අරගෙන. 

එදා පියතිලක සර්ගෙ දේශනේ වෙනස්.

" අපි ඊයෙ කථා කරගත්ත විධියට වැඩකරන්නයි දැන් තියෙන්නෙ. මෙ කැටේ අරගෙන අනුර ඔයාලා හැමදෙනා ගාවටම එයි හෙට ඉඳලා හැමදාම නම් ලකුණු කරන වෙලාවට. හැම කෙනෙක්ම හැමදාම කැටේට දාන්න සත පහක් ලඟ තියාගන්න. අම්මලා තාත්තලාගෙන් ඉල්ලගෙන නෙවෙයි. දවසකට ටොපී දෙකක් කනවා නං එකක් විතරක් කාලා එක සත පහක් ඉතුරු කරගෙන. ඉස්කෝලෙ ඇරිල යනගමන් කන පොප්සිකල් එකට දෙන සත පහ ඉතුරු කරගෙන. එහෙම නැතිනම් බස් එකේ යන්න ගේන මුදලින් ටිකක් දුර පයින් ගිහිං ඉතුරු කරගෙන. සත දහයක පොප්සිකල් එකක් කන ‌කෙනෙකුට පුලුවන් සත පහක එකක් කාලා සත පහක් ඉතුරු කරගන්න අපේ මේ කැටේට දාන්න. ගෙවල්වලින් සල්ලි ඉල්ලලා අම්මලාට කරදර කරන්න එපා. ඔයාලට හම්බවෙන සල්ලිවලින් ඉතුරු කරගෙන අපි මේ කැටේ පුරවාගමු. එහෙම කරල අපි අපේ කොටස අයිති කරගමු. එතකොට අපිට ඒ් ගොඩනැගිල්ලට අයිතිය හම්බවෙනවා"

හැම දේකම අනික් පැත්තක් දකින්න පුරුදුවෙලා හිටපු මට මේ වැඩේ කරගන්න පුලුවන් වේවිදැයි සැකයක් නොතිබුණාම නොවෙයි. කොහොමටත් මාස හයක්ම කල් තිබුණු නිසා මොනවා හරි කරල දන්න අයගෙන් රුපියල දෙක ඉල්ලාගෙන හරි ඒක කරන්න මම අදිටන් කරගෙන ‌අඹ යාලුවන් වුණු පද්මසිරිට බන්දුලට රොහාන්ට චන්නට එහෙම කීවෙ එයාලගෙත් උදවු ගන්නයි. කවුරැත් ඒ්කට එක පයින්. ඒ්ත් පියතිලක සර් කීවෙ වෙන කථාවක්. "බය වෙන්න එපා. මං ගණං බලලයි තියෙන්නෙ. හැමෝම හැමදාම සත පහ ගණනෙ දැම්මොත් අපිට ඔය ගාන මාස හය යන්න ඉස්සර එකතු වෙනවා. බය වෙන්න එපා අනුර. කවුරු හරි අතරින් පතර දවසක හරි සතදහයෙ ඒ්වාත් දමාවි. අපිට කලබල වෙන්න දෙයක් නෑ"

කැටේ සල්ලි ගණින දවසෙ ගුරු මේසෙ පුරාම කාසි. සර්ගෙ උපදේශය වුණේ ඉස්සෙල්ලම කාසි වෙන් වෙන්ව ගොඩ ගහන්න කියලයි. ශත පහේ කාසි අතර ශත දහයේ කාසි විතරක් නෙවෙයි ශත විසිපහේ කාසි දොළහක් වගේම ශත පනහේ කාසි හතකුත්.

                       එතැන මේ කාසි ඔක්කොම තිබුණා


 කොහොමහරි රුපියල් දෙසිය පනහ පහුකරල කාසි ගැණෙනකොට මං හිතින් හිටියේ ගුවනෙ.ඔක්කොම රුපියල් දෙසිය හැත්තෑ නවයක්.  පියතිලක සර් කැටේ  වටේට අලවලා තිබුණු කොලයේ "ගොඩනැගිලි අරමුදල 1 බී පංතිය" කියල ලීවෙ පෑනෙන්. ඒ් කාලෙ අපි පාවිච්චි කළේ පැන්සල්. එහෙම කරල සර් සල්ලි ඔක්කොම ආපහු ටිං කැටේටම දාලා පියනත් වහලා ඒ්ක මගේ අතට දීලා මාව සුමනසේන සර්ගෙ කාර්යාලෙට එක්ක ගියේ ඒක මගේ අතින්ම බාරදෙන්නයි.

ටික ටික එකතු වුණත් ගොඩක් කරගන්න පුලුවන් බව එදා ‌සහතිකේටම තේරුම් ගියා.

ජල බින්දු නිපාතේන ක්රමසං පූර්යතේ ඝටං

සහේතුඃ සර්ව විද්‍යානාම් ධර්මස්‍යච ධනස්‍යච

8 comments:

  1. මසුරං වටින කතාවක්. අර සොලෝකෙ තේරුමත් සිංහලෙන් දැම්මනම් හරි.

    ReplyDelete
  2. අකුරු ඉලක්කම් පමනක් නොව ජීවිතය කියාදුන් ගුරුවරයෙක්. අපේ ආචාරය.

    ReplyDelete
  3. ජල බින්දු වැටිලා කළය පිරෙනා සේ
    එලෙසයි සෑම දැනුමත් ගුණවත් බවත් ධනයත්
    ඔන්න නමී හැකි පමණින් කළා. ඒ එක්කම චමින්දටත් පිං!

    ReplyDelete
  4. මටත් මතක් වුණා කවි දෙපදයක්!

    බිඳෙන් බිඳෙන් ජලේ
    සෙමෙන් පිරෙයි කළේ

    අගේ ඇති කතාව අනුර!

    ReplyDelete
  5. හතර පද සංස්කෘත කවියකට දෙපදයකින් අරුත් කීම හරි අමාරු වැඩක්. ඒකයි හතර පදයක්ම වැයවුණේ

    ReplyDelete
  6. අපේ ඇඳුම් කියන ගොඩක් ඒවා කෙලින්ම ඉන්දියාවෙන් මෙහෙම ආපුවම තමයි නේද?

    පොඩි ඈයන්ගේ කාලය ගැන ඉතින් ගොඩක් දුරට ලොකු ඈයො හිතන්නෙම නැති තරම්... ඒක ගැන කතාවත් ලියන්න ඒ. ටී. ආරියරත්න මහත්තයා සම්බන්ධ වුන.

    ටිකෙන් ටික හැම දෙයක්ම ගොඩ නැගෙන බව නම් අගේ ඇති කතාවක්....💕👌👌

    ReplyDelete
    Replies
    1. ඒක වුණේ කෝට්ටේ සර්වෝදය මධ්‍යස්ථානය විවෘත කරන වෙලාවෙ. උත්සවේ ආරම්භ කරන්න වෙලාව තිබුණෙ සවස තුනේ කණිසමට.තුනයි පහළොව වෙලාත් ලොක්කා ආවෙ නෑ. අපි උත්සවේ පටන් ගත්තා.
      මං පිළිගැනීමේ කථාව කරනවා.එතකොට ලොක්කා ඇවිත් වාහනෙන් බැස්සා. එයාව කැඳවාගෙන ආවෙ සිඟිති හවුලේ අය. මං කියාදීලා තිබුණේ කථාවකට බාධා කිරීම වෙන ආකාරයට හැසිරෙන්න එපා කියලයි.එයාලා මගේ කථාව අහවර වෙනකම් ලොක්කාව එළියේ හිටවාගෙන හිටියා.
      ඇතුළට ආවහම එයා හරි ගෞරවාන්විතව බුලත් හුරුළු දී පිළිගත්තා.
      එයා ඒකට උරණ වුණු බවක් පෙන්වූයේ නෑ.එයාගෙ කථාවෙදිි ඇහුවෙ පමා වී පැමිණීීමට වන්දි වශයෙන් කරන්න ඕනෙ දෙයයි. අපේ ඉල්ලීම පරිදි අපේ පුස්තකාලයට රුපියල් පාළොස්දාහක පොත් ලැබුණා.

      Delete

කාර්මික අධ්‍යාපනේදී

  විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාල...