උගත මනා ශිල්පයමයි

 මහප්පා හෙවත් කොස්ගමගේ පේමදාස හෙවත් කනම්පිටියේ පැටි මහත්තයා ඉ‌ගෙනගෙන තිබුණෙ හතේ පංතියට විතරයි. එයාගෙ අධ්‍යාපන දර්ශනය මහ අමුතු එකක්. ඒකෙ තිබුණෙ විෂයන් දෙකක් විතරයි. එකක් ගණිතය. අනෙක භාෂාව. එයා භාෂාව කියල කියන්නෙ සියලුම භාෂා වලට. ඒකට සිංහල ඉංගිලිෂි දෙමළ විතරක් නෙවෙයි පාලි සංස්කෘත ජර්මන් ලතින් වගේම මරාථි භාෂාවත් අයත් වෙලා තිබුණා. එයාට ඒ හැම භාෂාවක්ම පුලුවන්. එයාගෙ රැකියාව වෙළඳාම. කඩේ තිබුණෙ ගාල්ලෙ කොටුවෙ. ඒක තේ කඩයක්. මුදලාලි එයා. ටී මේකර් එයා. වේටර් එයා. කොටින්ම කීවොත් ඒකෙ හැම තනතුරකම හිටියෙ එයා. ලොකු අම්මා තව කෙනෙක් සම්බන්ධ කරගන්න කියා කොතෙක් කීවත් එයා ගණන් ගත්තේ නෑ. ඒකෙන් තේරෙනවනෙ ඒ කඩයක් කීවාට ලඩයක් බව.

ඒකෙන් ලැබෙන ආදායමෙන් විතරක් හරි හම්බ කරලා එයා දුවලා දෙන්නෙකුත් පුතෙකුත් එක්ක පවුලක් නඩත්තු කළා. සීයාගෙ සොච්චං පැන්සොන් එකත් ඒකට පොඩි උදවුවක් වෙන්න ඇති. එයාගෙ ලොකුදුව කුමුදු නංගි උපාධිධාරිනියක්. සුනාමි රැල්ලට හසුවී මියැදුනේ නැතිනම් එයා තවමත් ගාල්ලෙ කොහේ හරි ඉස්කෝලෙක උගන්වනවා. 

මහප්පා ලොකු අම්මා කුමුදු නංගී හේමන්ත මල්ලී සහ කුමාරි නංගී

එයාගෙ පුතා ජානක මල්ලි හෙවත් හේමන්ත ශීෂ්‍යත්වෙ පාස්වෙලා ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලෙට ගිහිං උසස් පෙළින් සමත්වෙලා කෘෂිකර්ම උපාධිය හදාරන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලය හරහා මහ ඉලුප්පල්ලම ගොවිපොලේ ඉඳල එක පාරටම රුහුණු විශ්ව විද්‍යාලෙ වෛද්‍ය පීඨයට ගිහිං අද ගාල්ලෙ මහමෝදර රෝහලේ වෛද්‍යවරයෙක්. 

බාලදුව ඩිප්ලෝමා ධාරිනියක්. රජයේ සේවිකාවක්. 

මහප්පා කියන්නෙ මේ හැමදේම කළේ එයාගෙ දැනුම නිසා කියලයි. එයා මං දහම් පාසලේ පාලි ඉගෙනගන්න එක ගැන කථාකළේ හරිම සතුටින්. එයාගෙ උපදේශය වුණේ "පාලි ඉගෙනගන්න අයට තියෙන ලොකුම පුරස්නෙ තමා පාඩම් කරන්න වෙන එක. හැබැයි ඒ හැම එකකම රටාවක් තියෙනවා. ඒක හරියටම අල්ලා ගත්තොත් ඒක හරිම ලේසියි. ඒ් එක්කම සංස්කෘතත් ඉ‌ගෙනගන්න. සංස්කෘත සාහිත්‍යයත් හරි වැදගත්. මට හිතෙන්නෙ‌ ලෝකෙ ලොකුම උපදේශ සාහිත්‍යය තියෙන්නෙ සංස්කෘත භාෂාවෙන්."

ඒ කථාවෙන් මට ලැබුණු මග පෙන්වීම මගේ මුලු ජීවිතය පුරාම විහිදිලා ගිය බව මට තේරෙන්නෙ භාෂාවක් හැදෙන හැටි ඒක භාවිතයේදී අදහස් දැක්වීමට උපයෝගී වෙන හැටි විතරක් නෙවෙයි එක් එක් භාෂාවක විශේෂතා ඇතිකරන අනන්‍යතා ලක්ෂණත් දැනගන්න පුලුවන් වෙන Language Theory and Knowledge Engineering විෂය ඉගෙනගන්න පටන් ගත්තාට පසුවයි. 

හැබෑවටම දැනුම කියන්නෙ මොකක්ද? යම් දෙයක් ගැන හරි දේ දැන ගැනීම තමා දැනුම කියන්නෙ කියල හිතුවොත් වැරදි දේ ගැන දැණුමක් නැද්ද? ලෝකයේ දැනුම පිළිබඳ ඉහළම තැන හිටපු අපේ ගෞතම බුදුහාමුදුරුවො තමංගෙ මුල්ම දේශනේදි " ද්වේ මේ භික්ඛවෙ පබ්බජිතේන නසේවිතබ්බා" කියලා මුලින්ම කියා දෙන්නෙත් වැරදි දේ වැරදි බව නේද කියල පේන කොට Paul Feyerabend විසිවෙනි සියවසේදි කියන දේ අපේ බුදුහාමුදුරුවො මීට ශත වර්ෂ 21 කට කලින් පාවිච්චි කළ මූලධර්මයක් බව පැහැදිළිවම පේනවානෙ ?

දැනුම කියන්නෙම ලෞකික දෙයක් බවයි මගේ හැඟීීම. එතකොට දැනුමේ උපරිම තත්වය වන බුදු කෙනෙකුට විතරක් පහළවෙනවා කියන සර්වඥතා ඥානයට මොකද වෙන්නෙ?  

දැනුමෙන් ලැබෙන්නෙ උගත්කම මිසක් නුවණ නෙවෙයි. ඒත් නුවණ ඇතිවීමටත් දැනුම උපයෝගී වෙනවා. සාමාන්‍ය බුද්ධිය කියන්නෙ එහෙම ලැබෙන තත්වෙකටයි. ඒකත් හරි රසවත් කථාවක්. කථාව සිද්ධවුණේ විවෘත විශ්ව විද්‍යාලයේ කැන්ටින් කලාපයේ. අපි කට්ටියක් එකතුවෙලා කථා කරමින් හිටියෙ ඉංජිනේරු අපිට වැඩිය විෂය නොවුණු විෂයක් වුණු Work & Human Organization in Industry ගැනයි. ඒ විෂය පිළිබඳ පාඨ මාලා පොත්පෙළ ලියලා තිබුණේ ආචාර්ය වික්රමභාහු කරුණාරත්නරත්න  මැතිතුමා. එතැනෙදි අපි අතර හිටි සලීම් සහෝදරයා අතිනුයි Common Sense කථාව කියැවුණේ. 

අපි අසලින්ම යමින් හිටපු ආචාර්ය තුමා වහාම අපි හිටපු මේසෙ ලඟට ආවෙ " ඔයාලා දන්නවාද ඔය සාමාන්‍ය බුද්ධිය කියන්නෙ මොකක්ද කියලා?" කියා අසමින්. අපි හැමෝම හිටපු ආසන වලින් නැගිටලා සර්ට වාඩිවෙන්න ඉඩ සලසා දුන්නාම එයා අපිවත් වටේට වාඩි කරවාගෙන පැහැදිළි කිරීම පටන් ගත්තා.

 " සාමාන්‍ය බුද්ධිය කියන්නෙ මානසික හැකියාවන් තුනක් එකතු වෙලා හැදෙන සංකීර්ණ මානසික හැකියාවකට. පළමු වෙනි එක තමා දේවල් දෙකක් සමාන නම් ඒවා සමාන බව දැනගැනීමේ හාකියාව. ඒ සඳහා ඔයාලගෙ අත්දැකීම් වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට හැඩයෙන් හා සැප පහසුකම් අතින් සමාන නොවුනත් පුටු දෙකක් දුටුවාම ඒ් දෙකම එකම පුටු කියන ගණයට දාන්න පුලුවන් කියන හැකියාව. දෙවෙනි කරුණ තමා එකිනෙකට වෙනස් දේවල් දෙකක් හමුවුණාම ඒ දෙක වෙනස් බව හඳුනාගන්න හැකියාව. මේසයක් කවදාවත් පුටුවකට සමාන වෙන්නෙ නෑනෙ? ඒත් හිතල බැලුවොත් පුටුව පාවිච්චි කරන්නෙ ඉඳගන්නනෙ? ඒ වැඩේට මේසෙ පාවිච්චි කරන්න බැරිද? තුන්වැනි කරුණ ටිකක් වෙනස් එකක්. ඒ තමා දේවල් දෙකක් සැලකුවාම ඒ දෙක එකිනෙකට සමාන වෙනගමන්ම අසමාන වීම වෙන්න බැරිබව දැනගන්න ඇති හැකියාව. කෘතිම බුද්ධිය කවනවා කියන්නෙ ඒක කරගන්න හැටි යන්තරයකට  හඳුන්වා දෙන එකයි."

ඒවා අහනකොට ඇත්තටම හිතට ආවෙ ලොකු දුකක්. මේ තරම් දක්ෂ මනුස්සයෙක් මේ මජර දේශපාලනේකට ඇවිත් කරගෙන තියෙන විනාසෙ ගැන දුකක්. එයා දේශපාලෙනේට නෑවිත් ඉගැන්වීමම කරගෙන හිටියානං රටට මොනතරම් වටින මිනිහෙක්ද මේ විනාශ වෙලා තියෙන්නෙ කියල හිතෙනකොට ඇත්තටම දුකා..යි.

මේ එක්කම කියන්න දෙයක් මතක් වුණා. අපි ඉගෙන ගන්න අයට කීවෙ ගණ දෙවි නමස්කාරය කරලා ඉගෙනීමේ වැඩ පටන් ගන්න කියලයි. මට ලැබිල තියෙන ගුරු උපදේශය ඊට වෙනස්. අකුරු කියවන වෙලාවලට ගණ දෙවියන්ට පූජාවල් එහෙමත් තියෙනවානෙ. එහෙම තියන අයටයි මේ මතක් කරන්නෙ. එයා බැල්ම දෙන්නෙ නුවණට හෙවත් තැනට සුදුසු නුවණට. ගණ දෙවියෝ නුවණ දෙන්න කියලානෙ කියන්නෙ. ඇයි අපි ගණ දෙවියන්ට පූජා තියෙනකොට කියන ස්තෝත්රයේදීත්

"නිර්විඝ්නං කුරුමේ දේව සර්ව කාර්යේසු සර්වදා" කියලානෙ කියන්නෙ.

වෙන විධියකට කීවොත් කපටි මොලේට. ගුණාත්මක දැණුමකට බැල්ම ඕනෙ නම් පහන තියන්න සුදුසු වෙන්නෙ සරස්වතීටයි. ඒ එක්කම මතක තියාගන්නම වටින දෙයක් තියෙනවා. ඒ තමා සරස්වතීටයි ලක්ෂ්මීටයි එකතැන එකට ඉන්න බැරිබව. ඒ සමහරවිට ඒ දෙන්නම ගැහැණු නිසාද දන්නෙත් නෑ. පිරිමි සීයක් පුරස්න නැතිව එකට හිටියත් ගෑණු දෙන්නෙකුට එකට ඉන්න බෑ කියනවානෙ.

නිර්විඝ්නං කුරුමෙ දේව සර්ව කාර්යේසු සර්වදා
ජීවන ගැටලු විසඳා වැඩ සපල කර දෙවන් හැමදා

දන්නවානෙ නාරද ඍෂිවරයා? අර ගණ දෙවියන්ට අඹ ගෙඩිය දුන්න කෙනා. එයා ගණ දෙවියන් ගැන කියන්නෙ අමුතු කථාවක්. එයා ජ්‍යෝතිෂය ගැනත් මහ විශාල දැනුමැත්තෙක්. නැකැත් හදන්න වගේම අපල සංසිඳවන්නත් උපදේශ රාශියක් සහිතව නාරද සංහිතාව ලියපු එයා කියන්නෙ අපේ කේන්දරේ ‌කේතු ඉන්න රාශිය අනුව ‌තෝරාගත් මන්තරයක් (මන්තරයක් කීවාට මහා ලොකු එතත් නෙවෙයි  එක සංස්කෘත පාඨයක්. ඒවා ගණදෙවි නමස්කාර පාඨ) නිතර භාවිතා කිරීමෙන් කරදර මගහරවා ගැනීමට කළ යුතුදේ අපටම සිහිගැන්වී ඒවා මගහැරී යන බවය.


නාරද සංහිතාවෙන්ම ගත්ත තව කාරණයක් කියන්න හිතුවා මේ වෙලාවෙම. කන්‍යා රවිය යෙදෙන මාසයේ (සැප්තැම්බර් 15 හා ඔක්තෝබර් 15 අතර) අඳ නැකත සමග යෙදෙන සතවක අටවක නවවක තිථියක් එක්ක යෙදෙන දිනයක පියා වෙනුවෙන් දන්දීම ‌යහපත් ලැබීම් ලබාදෙන බව එහි කියැවෙනවා. ජ්‍යෝතිෂයේ අපල අතර කියැවෙන පීතෘ ශාප නිසා යෙදෙන දුර්විපාක මගහරවා ගන්න එහෙම දවසක පියා වෙනුවන් දන්දී පින් අනුමෝදන් කරවීම ශුභ බව කියැවෙනවා. පීතෘ ශාපය නිසා වන අපල අතර දරුවන් නොමැතිවීම, දරුවන් අකාලයේ මියයෑම සහ දරුවනට බරපතල රෝග ඇතිවීම.  මේ තොරතුර එහෙම අයට සහනයක් වේවි.

පරනන්දු මහත්තයාගෙ පරිවර්තනේ


කොහොම වුණත් ඒ අය හින්දු දෙවිවරු. බෞද්ධ අයට කරන්න සුදුසු ඊට ගැලපෙන සුදුසු රහතන්වහන්සේ කෙනෙක් තෝරාගෙන උන්වහන්සේගෙන් ආශිර්වාද ලැබෙන විධියට කටයුතු කරන එකයි. ඒකට අපිට තියෙන අඩුවක් තමා ඒ සඳහා සුදුසු ගාථාවල හිඟකම. ඇත්තටම එහෙම ඒ්වා නැතිකම. සතුටින් මතක් කරන්න තියෙන කාරණය තමා ඒ් අඩුව තියෙන්නෙ තව ටික කාලයකට විතරයි කියන එක. විද්‍යෝදය පිරිවෙණේ ආචාර්යවරයකු වන පූජ්‍ය (මේ පූජ්‍ය කියන්නෙ නිකම් කටවචනෙට නෙවෙයි. විද්වාන් සර්වත්ර  පූජ්‍යතේ කියන කියමටම අනුව උන්වහන්සේ හැබෑවටම පූජ්‍ය බවට සුුසු කෙනෙක් නිසායි) මානාපිටියේ වජිරබුද්ධි හාමුදුරුවෝ දැනටමත් ඒ කටයුත්තට අතගහල තියෙන නිසා. උන්වහන්සේ විරිත් ගණ ගලපා පාලි සංස්කෘත දෙකෙන්ම කාව්‍යකරණයට හැකියාව ඇති තවමත් ඉතාම තරුණ වයසේ පසුවෙන හිමිනමක්. විද්‍යෝදය ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් හැටියට කටයුතු කරමින් එහි ශිෂ්‍යයින්ගේ ලිපි ආදිය පල කිරීමට එළි දක්වපු "විද්‍යෝදයාභා" කියන සඟරාව සංස්කරණය කරන්නත් දායක වුණු කෙනෙක්. උන්වහන්සේගේ ජන්ම පත්ත‌රේ බලපු නිසා කැට තියල කියන්න පුලුවන් උන්වහන්සේ අනාගතේදී ලංකාවේ උගතුන් අතර කියැවෙන හිමි නමක් වනබව. විද්‍යා්දය පිරිවෙණේ දක්ෂතම ශිෂ්‍යයාට හිමිවෙන ශ්‍යාම් ත්‍යාගය කියන විශේෂ සම්මාන ත්‍යාගයට පවා හිමිකම් ලැබූ කෙනෙක්.  

ඉගෙන ගන්න දේ මොකක් වුණත් ඒ් විෂය හැකිපමණ දුරට ඉගෙනගෙන තිබීම අගය කළ යුතුයි. එහෙම කියනකොටම මතක් වෙන දෙයක් තියෙනවා. මං ඉන්දියාවෙ පුහුණුවකට ගිහිං ඉන්නකොට අපට නවාතැන් දීමට යෙදාගෙන තිබුණෙ නව දිල්ලියේ ඒ්කට නව දිල්ලිය කියන්නෙ පැරණි දිල්ලියකුත් තියෙන නිසා බව දැනගත්තෙ ඒ ගමනෙදියි. New Delhi, Old Delhi. Old Delhi නමින් දුම්රිය නැවතුම් පොළක් පවා තියෙනවානෙ. නව දිල්ලියේ තියෙන Lodhi Hotel නම් හෝටලයක. ඒකෙ කාමරවල කෑම සකස්කර ගැනීම තහනම්. කෝපි කොප්පයක් ඉන්දියානු රැපියල් පණහක්. අපට පිටතින් කෑම ගෙනැවිත් කාමරයේදී කන්න අවසර දීලා තිබුණා. ඉන්දියන් කෑම ගිතෙල් දාලා හදපු ඒවා නිසා හැමදාම කන්න අමාරුයි. කාමරයේදී කෑම හදනවද කියන ඔත්තුව බලන්න හිටිය සුරේෂ් කුමාර් මාත් නන්දලාලුත් හිටපු කාමරේ room boy. නන්දලාල් කිවෙ සුරේෂකුමාර් අල්ලාගත්තානං අපට කෑම හදාගන්න පුලුවන් බවයි. මොනවා හරි පොඩි දෙයක් දුන්ණොත් වැඩේ හරියන බවත් එයා කීවා. මොනවා දීලද මිනිහා අල්ලගන්න පුලුවන්? මං ලංකාවෙන් ගෙනගිය Lux සබන් කැටටික මතක් වුණේ ඒ වෙලාවෙයි. මං එයින් එකක් අරගෙන සුරේෂ්කුමාර්ට පෙනුනවාම එයාගෙ කට කණට ගියා. මං ආදරෙන් වගේ ඇහුවෙ "do you like it? "කියලයි.  " Oh! yes, International Lux". එයා‌ගෙ උත්තරේ කියන්නෙ අපේ වැඩේ හරියන පාටයි. 

International Lux
උයාගෙන කෑමට පිළිසරණ

මං ඒ සබන් කැටේ එයාට දීලා ඇහුවෙ එයා ඒකට කරන්න හිතාගෙන ඉන්න දේයි. 

"මං මේක මගේ ‌පෙම්වතීට දෙනවා. එයාට මේක හුඟක් වටිනවා. එයාට මේවා ගන්න විධියක් නෑ. මං එයාට කියන්නං මේක ලංකාවෙ මහත්තෙයකුගෙන් හම්බ වුණා කියල. එයා හුඟක් ආසාවෙයි." පෙම්වතුන් ආර්ථිකය හමුවේ මෙනතරම් අසරණ වෙනවාද කියා මට පෙනීගියේ එක්දහස් එක්වෙනි වතාවට.මං එයාට තව සබන් කැටයක් දීලා මෙහෙම කීවා. 

"ඒක එයාට. මේක ඔයාට" 

"මහත්තයාට කමක් නැත්නං මං මේක මගේ නංගිට දෙන්නං. එයාටත් මේවා හම්බවෙන්නේ නෑ" ඒ කථාව මාව පෙළැඹෙවුවෙ තවත් සබන් කැටයක් තෑගි දෙන්නයි. අයියා කෙනෙකුගෙ කැපවීම. මගේ පෙනුම බොඳ වුණාට ඒ ඇතුළෙන් දැකපු සුරේෂ්කුමාර්ගෙ මූණෙ තිබුණේ සතුටු සිනාවක්.

" සර් මෙහෙ උයන්න ලිප් ගේන්න එපා. මං ගෙනත් දෙන්නම් ඉමල්ෂන් හීටර් එකක්. අපිට ඒකෙන් බත් එළවලු උයන්න පුලුවන්. මං හෙට කරල පෙන්වන්නම්. මැනේජ්මන්ට් එකට රහසෙන් පෑන් එකක් ගේන්න. පොඩි රයිස් කුකර් එකකුත් ගේමු. හැබැයි සර්ල දෙන්නට විතරක් උයමු. අනික් අයටත් ඕනෙ නම් එකපාරට උයන්නෙ නැතිව දෙතුන් පාරකට බත් උයාගමු. හැබැයි භාජන ‌පෙට්ටි ඇතුළෙම තියාගමු" සුරේෂ්කුමාර්ගෙ උපදේශයේ තියෙන්නෙ  ආරක්ෂාව ගැන කථාවක් බව තේරෙනවානෙ  කොහෙම හරි ඒකෙන් සබන් කැට තුනකින් අපේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුනා. කොහොමද ටිකිරි මොළේ?

කාම‌රේම බත් උයන්න සූදානමින්



එදින පටන් අපි කෑවෙ ලංකාවෙ විධියට උයාපු බත්. ෆ්රයිඩ් රයිස් කාපු දවසුත් තිබුණා. කෑම හැදීම බාර වුණේ මටයි ධනපාල සොහොයුරාටයි. එතුමා පරිපාලන සේවයේ හිටපු ‌ ‌ජ්‍යෙෂ්ට  නිලධාරියෙක්. ඒ් වුණාට අපට මචං කියා කථා කරන්න එතුමා සුහද වුණා. පුහුණුවෙන් පසුව ලංකාවට ආවාට පසුවත් එතුමා වෙනස් වුණේ නෑ.

මට මතක්වෙනවා සීයා කියාදීපු කථාවක්. කථාන්දරයක් නෙවෙයි උපදේශයක්.
" කෑම හදාගෙන කන්න පුරුදු වුණේ නැතිනං හැමදාම ගෑණිට යටවෙලා තමා ඉන්න වෙන්නෙ. "
මගේ හාමිණේ මට එහෙම කරල නැති වුණත් සමහර කෑම වර්ග හැදීම බාර වෙන්නෙ මටමයි. කැරට්කොල සම්බෝලය ගෝවා කොළ මැල්ලුම වගේ ජාති විතරක් නෙවෙයි. නුවර එළියෙ කාර්මික විද්‍යාලෙදි එවකට නියෝජ්‍ය විදුහල්පති හැටියට හිටපු ජයතිලක සර්ට පිං සිද්ධවෙන්න එවගේ ඒවා විතරක් නෙවෙයි බත රොස් වුණාම ඇටකුණා වුණාම කරන පිළියම් පවා පුරුදු වුණා. ඒවා බොහොමයක් මේ වෙනකොටත් උපයෝගී කරගෙන තියෙනවා. තවම උපයෝගී කර නොගත් ඒ්වාත් තියෙනවා. 

මේක වුණේ අමද්‍යප වැඩසටහනකට ඉන්දියාවෙ ගිහිං ඉන්න ඇද්දියි. මගේ කාමර මිතුරා නොහෙත් room mate වුණේ ආනන්ද භට්ඨාචාර්ය. එයා බමුණු වංශයට අයත්වුණු කෙනෙක්. එයා ලාල් අයියාගේ හෙවත් ජිනසිරි ලාල්මිත්තර හේවාපතිරණ මැතිතුමාගෙ මිතුරෙක්. ලාල් අයියා තමා  ජාත්‍යන්තර යහපත් අමද්‍යපයින්ගේ සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ පාලක නිලධාරීතුමා. ඔහු අඩිපාරෙ ගිය මං කලාපීය ලේකම්. වැඩ සටහන සංවිධානය කර තිබුණු හෝටලයේ කළමණාකාර තුමා වැඩසටහනට සම්බන්ධ වන අයගේ ආහාර පුරුදු ඒ කියන්නෙ මාංශ භක්ෂක, නිර්මාංශික අය වෙනවෙනම ගණන අහපු අවස්ථාවේදියි අපට සිහිවුණේ අපි මුල් ලිපිවලින් ඒ තොරතුරු අසා නොතිබුණු බව. ලියාපදිචියේදී ඒ තොරතුරු ගතහැකි වුණත් එවිට පමා වී වැඩියි. අපේ පිහිටට ආවෙ ආනන්ද. එයා ඉල්ලුවේ එකම තොරතුරයි. හැමදෙනාගෙම සම්පූර්ණ නම. ඒ තොරතුරුවලිිින් එයා හරියටම ගණන හදලා දුන්නා. ඒ ගැන අහපුවාම එයාගෙ උත්තරේ වුණේ වාසගමින් කුලය තෝරා ගතහැකි බව සහ සමහර කුලවල අය ස්ථිරවම මාංශවලින් වැලකෙන බවයි. කුල භේදය නරක දෙයක් වුණත් ඒකෙනුත් ගන්න දේවල් තියෙනවා. කුල ගැන ආනන්දගේ මතයත් මෙතනම කියන්න හිතුවෙ කුල මානෙන් ඔලුව උදුමවාගෙන ඉන්න අයට හිතන්න යමක් ඉතුරු කරන්නයි.  " මට මගේ කුලය වටිනා දේවල් දෙකක් ලබාදීලා තියෙනවා. ඒකක් තමා හැමවිටම දැනුම සොයා යන්න මානසිකත්වයක් ලබා දීල තියෙනවා. අනෙක තමා මගේමේ සරල සැහැල්ලු ඇඳුුම." ඒ තමා ආනන්දගෙ දර්ශනේ.
ආනන්ද හැමදාම ඇන්දේ එකම විධියේ ඇඳුමක්.කපු රෙද්දකින් මහපු තනිපාට අත්කොට බුෂ් කමිසයක් සහ සරල දිග කලිසමක්. කමිසෙ පපුව දෙපැත්තෙම ලොකු සාක්කු දෙකක්. එකක කැල්ක්‍යුලේටරයක් සහ කාබන් පෑනක්. අනෙක් සාක්කුවේ ‌නෝට් පොතක්. එයා කිසිමදෙයක් තදින් මතක තියාගන්නෙ නෑ. හැම වැදගත් දේම අර පොතේ ලියාගත්තා. 
"අපේ මතකය ඉතිරිකරගන්න ඕනෙ මූලධර්ම මතක තියාගන්නයි. දත්ත මතක තියාගන්න ‌තමයි පොත් තියෙන්නෙ."ආනන්ද කීවෙ එහෙමයි.
මාතලන් චිත්තරපටියෙ හොඳ උපදේශයක් තියෙනවා මතක ඇති. 
ලාන්තතර පාන්තර උයි ලපාන්ත  කුෂාන් අබ්රාන්ත ෂන්ඩුර් 


ඒ නැටුම් ශිල්පියා කියාදීපු වාක්‍යය චිත්තරවල්ලිට ජීවිතේ වැදගත්ම තැනකදී පිහිට වුණේ ඒ් මෝඩයෙක් වගේ හිටපු නැටුම් ශිල්පියා නිකමට පාඩම් කරගන්න කියපු දේ නෙ? අපි ඉගෙන ගත්ත දේ අපට උපකාර වෙන්නෙ කොයි වෙලාවෙද කියල අපට කියන්න බෑ. වජිරාරාම පංසලේ බංකුවක ඉඳගෙන පාඩම් කරගත්ත නහි වේරන වේරානී ධම්මපද ගාථාව තමාගෙ ජීවිතයට මේ තරම් එළියක් ගෙනෙයි කියල හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්තයා හීනෙකින් වත්  හිතන්න නැතිව ඇති. 
යොවුන් වයසේදී ශෘංගාර ශතකය ලියූ භතෘහරීන් පණ්ඩිතයා දැනුුමමුහුකුරා ගිය මැදි වයසෙදි ලෝක ස්වභාවය ගැන කියන නිති ශතකයත් වයෝවෘද්ධ වයසෙදි වෛරාග්‍ය ශතකයත් ලීවානෙ. මේක උකහා ගත්තෙ නීති ශතකයෙන්. 
කර්මායන්තං ඵලං සුපුංසාං බුද්ධිඃ කර්මානුසාරිිණී 
තථා'පි සුධියා භාව්‍යං සුවිචා ‌ර්යේව කූර්වතා
මිනිසුනගෙ ලැබුමත් නුවණත් කම් පරිද්දෙනි
එනමුදු කරන දේ විමසුම් නැණෙන් කළයුතු

උගත් දේ පිහිට වෙන්නෙ එහෙම නොහිතූ වෙලාවක නොසිතන විධියකට! 

32 comments:

  1. ඔබ උගත් දේ ඔබට විතරක් නෙවෙයි දැන් අපිටත් පිහිටවෙනවා අනුර. බ්ලොගය පටන්ගත්තාට ස්තූතියි.

    ReplyDelete
  2. දැන් ඉතින් නියමෙටම ලියවීගෙන යනවා සර්💕💕👌👌

    පුලුවන් හැමදාම ලිපියක් දැම්ම නම් මරු😁🥳

    බුදු හාමුදුරුවො නම් සංස්කෘත භාෂාවට විරුද්ධ වූ බවක් අහලා තියෙනවා ඒක ගැන මොකක්ද සර් අදහස?

    අනික සර් ආදරේ/ආශාව කියන දේ නොමැරී තියෙන්න නම් මොකක්ම හරි බාධකයක් තියෙන්න ඕනිලු. ඒ අනුව බලපුවාම ආර්ථික ප්‍රශ්න උනත් තියෙන එක, තවත් පැත්තකින් හොඳයි වගේ......

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ යමේළු තේලුක කියල දෙමස්සිනාවරු දෙන්නෙක් මහණ වෙලා හිටියාළු.ඒ දෙන්නාම චන්දශ්ශාස්තරේ කෙළ පැමිණි දක්ෂයෝළු. ඒ දෙන්නා එකතුවෙලා බුද්ධ දේශනාව චන්දසට ඒ කියන්නෙ සංස්කෘත කාව්‍යයට නගන්න පටන් ගත්තාළු.ශාසනේ හිටපු කේලම් කාරයා ඒ කියන්නෙ ආනන්ද හාමුදුරුවො කේලම බුදුහාමුදුරුවන් ගෙ කණේ තිබ්බාළු.(කේලම් කාරයා කීවාට සාසනයේ සංවිධායක හැටියට හිටපු ආනන්ද හාමුදුරුවො කළේ තමාගෙ වගකීම ඉටුකිරීම මිස හුදෙක් කේලාම් කීම නෙවෙයි) බුදු හාමුදුරුවො ඒ ගැන විමසා බලා කීවාළු "අනුජානාමි භික්ඛවෙ සකාය නිරුක්තියාය බුද්ධ වචනං පරියාපුණිතුං" කියා.සරල ආකාරයෙන් කීවානම් ඒකෙ තේරුම තමාට වැටහෙන භාෂාවෙන් බුද්ධ වචනය දැනගතයුතුයි යන්නයි. අටුවාචාරීන් වහන්සේ ඒකෙ සකාය නිරුක්තියට තේරුම දීලා තියෙන්නෙ "සකාය නිරුක්තියා නාම පාලි මාගධී භාසාවො" කියලයි.ඒ නිසා සිංහල අපි හදාගෙන තිබුණු හෙළ අටුවා සියල්ල ඇත්තු හත් දෙනකුගේ උසට ගොඩගසා දවා අළුකළ බව දන්නවානෙ.සිංහල අපිට කෙළවුණේ එහෙමයි.

      Delete
    2. කේලම් කාරයා කියන එක එච්චර හොඳ නෑ කියන එකයි මගෙ අදහස නම්....

      අටුවා පිච්වුව කතාවක් අහලා නම් නෑ.

      පාලිත් ඉගෙන ගන්න වෙනව උයන්න ඉගෙන ගන්න වෙනවා වගේම😁

      Delete
    3. බුදිධඝොෂ හාමුදුරුවො කරළ තිබුණෙ හෙළ අටුවා පාළියට නැගීම.කොහොම වුණත් හෙළ අටුවා පිලිස්සීම වෙලා තියෙන්නෙ රාජ නියෝගයෙන්.ඒකාලෙ හාමුදුරුවරුත් ඇද වගේම රජවරු රවටාගෙන තමාට ඕනෑ දේ කරවාගෙන.

      Delete
    4. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ...

      Delete
    5. ඒකනෙ සර් , ඒ බාධා නිසාම ලු ආදරේ අගය වැඩි

      Delete
    6. හාමුදුරුවොත් රහත් වෙල නොහිටිය නම් ඉතින් කොයි කාලෙත් එකම සෙතේ තමයි😑

      Delete
  3. ප්‍රශ්න අහන්න ගත්තම සර් පෝස්ට් එක දිග වැඩී වගේ කියල හිතුනා, පෝස්ට් 2කට වගේ මේ ටික දැම්ම නම් හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. එක කරුණක් වෙනුවෙන් එක පෝස්ටුවක් බැගින් ලියන්නයි සැලසුම. කරල‌‌‌ තියෙන දේවල් මෝඩකම් එහෙම තව ගොඩායි

      Delete
  4. භාෂාවකින් අනන්‍යතා ලක්ෂන ඇති වෙන විධිය මොකක්ද සර්?

    අනික මනුස්සයෙක්ව හදුන්වලා දෙන්න පුලුවන් වෙන්නෙ එයාගෙ උගත්කම, රැකියාව හරහා විතරමද? ඒක නම් ලොකුම ප්‍රශ්නයක් වෙන මොකුත් විදියක් නැද්ද මනුස්සයෙක්ව තව කෙනෙක්ට හඳුන්වලා දෙන්න...

    ReplyDelete
    Replies
    1. අනන්‍ය ලක්ෂණ උදාහරණයකින් කියන්නම්. සිංහලේ ලිංග භේදය ගන්න විධියට නෙවෙයි පාලියෙ ලිංග භේදය. උදාහරණයක් විධියට ගලක් ගැන කියන "සිලා" ස්ත්‍රී ලිංග.ඒ ගැනම කියන "පබ්බත" නපුංසක ලිංග.සිංහල පාලි දෙකේම තියෙන්නෙ වචන දෙකයි. ඒකවචන හා බහුවචන. සංස්කෘතවල වචන තුනක්. ඒකවචන ද්වී වචන බහුවචන

      Delete
    2. අහ් හරි අනන්‍ය ලක්ෂණ කියන එක තේරුනා😁

      Delete
    3. හඳුන්වාදෙන එක ගැන තියෙන්නෙ කථාන්දරයක්. ඒක වුණේ තරුණ ජනගහණ කමිටුවේ වැඩමුළුවක මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයා හඳුන්වා දීපු වෙලාවක.හඳුන්වා දෙනකෙනා හෙන ආලවට්ටං ගොඩක් කීවා.මහාචාර්යතුමා එක පාරටම "ඒ කියපු කෙනා ඇවිල්ලා ඉන්නවද?" කියා පුදුමෙන්වගේ ඇහුවා. එයා කීවෙ එහෙම ආලවට්ටම් කියා හඳුන්වා දුන් කෙනා වැඩේ වරද්දාගත්තොත් මොකද වෙන්නෙ කියලයි.Ph. D. තියෙනවා කියල හඳුන්වන කෙනා අනාගත්තොත් D නැති P.H. කෙනෙක් කියල දැනගන්නවානෙ.

      Delete
    4. ඒක නම් ඇත්ත. නියම කතාව.

      Delete
  5. ඥානය ලෞකිකයි තමයි නේද සර්? මොකද බුදු හාමුදුරුවො බුදු උනේ ආසවඛ්‍ය ඥානය ලබා ගත්තට පස්සෙ. ඒකින්නෙ ඒකෙන් පස්සෙ තමයි ලෝකෝත්තර වෙන්නෙ. අනිත් සියලුම දේවල් එතකොට ලෞකික වෙනවනෙ.

    ReplyDelete
  6. හින්දු දෙවිවරු කියන්නෙ සංකල්ප විතරක් නෙමේද?
    බෞද්ධ අයට කියලා අදාල විදියට ඒවා කරනවා නම් ඕනි ප්‍රතිඵල ලැබේවි නේද?
    අනික රහතන් වහන්සේලගෙ, බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගන්න පිරිත් තියෙනවනෙ. අලුතින් ගාථා මොකටද?


    අනික මතකය හොඳට හදාගන්න ඕනි නම් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ පංච නීවරණ යටපත් කරන්න කියලා. එතකොට ඒක නොකර එක එක දෙවි දේවතාවියන්ගෙන් ආශිර්වාද ඉල්ලුවා කියලා ඒවා සාර්ථක වෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මගේ පිළිගැනීමත් එහෙමයි.විශ්වීය ශක්තිය ප්‍රයෝජනයට ගන්න විධිය බුදු බණේ අනන්තවත් තියෙනවා.හත්ථාල්වක කථාව වගේම ඡත්ත කථාවත් ඒකමනෙ.

      Delete
    2. ඔයාත් බෞද්ධ ක්‍රමය ගැන දැනුම් තේරුම් ඇතිව වගෙයි පේන්නෙ.බුදු හාමුදුරුවන්ගෙ රහතන් වහන්සේලගෙ ආශිර්වාදය‌ ගන්න නෙවෙයි පිරිත් තියෙන්නෙ. පිරිත කියන්නෙ සත්‍යක්‍රියාවක්
      එතෙන සච්ච වජ්ජෙන හොතු තෙ ජය මංගලං කියන්නෙ ඒකනෙ.ප්‍රතිපත්ති නොහැක පිරිත් කීමෙන් වැඩක් නෑ.
      මතක තියාගන්න නීවරණ යටපත් කරන්න ඕනෙ.හොඳටම කෙරෙන්න නං සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්න ඕනෙ. අඩු තරමින් විශ්කම්භණ වශයෙන් වත් ප්‍රහාණය වෙන්න ඕනෙ. ආනන්ද හාමුදුරුවො වාගෙ මතක තියාගන්න සසර පුරුද්දකුත් ඕනෙවෙයි.

      Delete
    3. ඥානය ලෞකිකයි කියල කීවෙ ලොකු අභිධර්ම කථාවක්. සර්වඥතා ඤාණය කියන්නෙ කාමාවචර ක්‍රියා සිත් වල තියෙන ඤාණ සම්ප්‍රයුක්ත සිත්වල යෙදෙන පඤ්ඤා චෛතසිකයට නිසායි. ඒක ලෞකිකයි.

      Delete
    4. සර්වඥතා ඤාණය ඔහොම වරනගන්න බෑනෙ. අනික අභිධර්මයේ ඔහොම පෙන්වලත් නෑ මං දන්න විදිහට..

      Delete
    5. සර්වඥතා ඤාණය ලෙහෙසියෙන් උපදවා ගතහැකි දෙයකුත් නෙවෙයි. කෙසේ වෙතත් කරුණාකර රේරුකාණේ චන්දවිමල මහ නාහිමි අතින් ලියැවුණු අභිධර්ම මාර්ගයේ (4වැනි මුද්‍රණය)138 පිටුව බලන්න.

      Delete
  7. රසවත් හරිම වැදගත් විස්තර එක්ක
    නැණවත් කරුණු ගලපාලා එකින් එක
    ලියන්නට මෙහෙම අම්මප හිතුණු එක
    රසික කැලගෙ පූරුවෙ වාසනාවක

    ReplyDelete
    Replies
    1. නිදි මාමෙ, ඒ පැත්තෙ එන්නත් බැරි උනා.
      මේ දවස් ටිකේ පොඩ්ඩක් පාඩම් වැඩ. නිවාඩු පාඩුවෙ ඒ පැත්තෙ එන්නම් හොඳේ😁

      Delete
    2. ඇති යන්තං දොස් නැති කවියක් ලියලා.සතුටුයි.ස්තුතියි!

      Delete
  8. //මහප්පා හෙවත් කොස්ගමගේ පේමදාස හෙවත් කනම්පිටියේ පැටි මහත්තයා//

    අවිස්සාවේල්ල කොස්ගමට යාබද කනම්පැල්ල කියලා ගමක් තියනව

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ. මේ කියන කනම්පිටිය තියෙන්නෙ නං ගාළු නගර සීමාව තුළයි. ගාල්ලෙන් අම්බලංවත්ත හරහා කරාපිටියට යන බස් එකේ තනිපොල්ගහ හන්දියෙන් බැහැලා පාලම ලඟට පයින් යන්න වෙනවා.එහෙ තමා පැටිමහත්තයා හිටපු ගේ තියෙන්නේ.ගේ තියෙන්නෙ මෝඩ ඇලේ පාපමට යාබද ඉඩමේයි.මතකනෙ නාමෙ නොදිරනා එකේ කියපු මෝඩ ඇල?

      Delete
  9. අනිවාර්යයෙන් උගත් දේ වැදගත්. ඒත් ඔහුගෙ දැක්ම හා ආකල්ප ඊට තදින්ම බලපානවා. බොහොම හොඳ ලිපියක්

    ReplyDelete
  10. උගත් කම ගැනත් උගත්කම ඇතිකරන්න කැපකිරීම් කළ අය ගැනත් මගේ දැක්ම හා ආකල්ප ගැන ලිපි කීපයක්ම මග එනවා!

    ReplyDelete

කාර්මික අධ්‍යාපනේදී

  විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාල...