ශිල්ප උගත්තෙමි නැණ ලැබ ගත්තෙමි - පළමු වෙලුම

 කෝප වුවත් රජ මැතිඳුුුන්  ගත නොහෙනා

උගතමනා    ශිල්පයමයි    මතු     රැකෙනා

ඒ නිසාම වෙන්න ඇති පුංචි කාලෙ ඉඳං ම මං ශිල්ප අධ්‍යාපනයට යොමුවුණේ. නූතන අධ්‍යාපන මූලධර්ම අනුව කියනවානං කුසලතා සංවර්ධනයට යොමුවුණේ. ඒකට තවත් වැදගත් හේතුවක් තිබුණා. ඒ තමා මං නවවැනි ‌පංතියට සමත්වෙලා මාසෙකින්ම තාත්තාගේ රැකියාව අහිමිවීම.

සහෝදරියන් හතර දෙනකුගේ පවුලක එකම පිරිමි දරුවා හැටියට  අධ්‍යාපන කටයුතුවලට ගෙදරින් සම්පත් ඉල්ලීමට තිබූ නොහැකියාව නිසා මට අවශ්‍ය වුණේ ඉක්මනින්ම මගේ අවශ්‍යතාවලට අවශ්‍ය සම්පත් උපයා ගැනීමට වාතාවරණයක් සකසා ගැනීමයි. 

ඒ සඳහා මට මුළින්ම උපකාර කළේ රණතුංග අන්කල්. අපේ වත්තට අල්ලපු වත්තෙ හිටපු එයාලගෙ වත්තට කවුරුවත් ඇතුල්වුණේ නැත්තෙ ගෙදර හිටපු තඩි ජර්මන් ෂෙපර්ඩ් බල්ලාට බයේමයි. අපි සෙල්ලං කරන්න ගියොත් ගියේ අජිත් හරි රුක්මන් අයියා හරි ඉන්න වෙලාවක විතරයි. එයාලගෙ අක්කලා දෙන්නාම අපිට වඩා හුඟක් වැඩිමල්. අයියලා දෙන්නාම මහණ වෙලා. අජිත්ගෙ නංගි මෙන්ටිසෝරියෙ හිටියෙ මං හිටිය පංතියෙමයි.

රණතුංග අන්කල් ටිකක් මාන්නක්කාර හැසිරීමක් පෙන්වුවත් එයාගෙ හාමිණේ රණතුංග මැතිණිය හරි කරුණාවන්ත  කාන්තාවක්. උදවුවක් අවශ්‍ය හැම කෙනෙකුටම තරාතිරම නොබලා උදවු කළ කෙනෙක්. ඒ අය සෑහෙහෙධනවත් පවුලක්. අන්කල් එවකට කොතලාවල පවුලට අයත්ව තිබුණු බෝගල පතල් සමාගමේ විධායක නිලධාරියෙක්. අහල ගෙවල් සමූහයකින්ම ටෙලිපෝන් පහසුකම තිබුණෙ එයාලට විතරයි.

ටෙලිපෝන් කථාව කියනකොටයි මතකයට ආවෙ එයාලගෙ ටෙලිපෝනය හරහා අපට එවුණු ලණුවක් ගැන කථාව. අපි පණපිටින් හිටපු මාමාගෙ මළගෙදර ගිය විස්තරේ. 

ඒ දවස්වල තිබුණු ටෙලිපෝනයෙ අංක ලබාගන්න තිබුණෙ අංකය තියෙන සිදුරට ඇඟිිල්ල දාලා කරකවන වැඩළිවෙලක්නෙ. ඒක වැඩකරන හැටි දැනගත්තෙ වි.ස.ප. කෙනෙක් වෙලා දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙනෙ. ටෙලිපෝනයෙන් වැරදි අංක ලැබෙනවා කීවාම ඒවා නිවැරදි කරන කටයුතු කෙරුණේ කොම්පඤ්ඤවීදියේ තිබුණු වැඩහලේ. ඒ නිවැරදි කිරීම කාලයත් එක්ක කෙරෙන්න තියෙන දෙයක්. බින්දුව කැරකැවුවාම ඒක ආපසු කැරකැවී එන්න තත්පර දහයක් යන්න ‌ඕනෙ. ඉතිං ඒ වැඩේට විරාම ඝටිකාවක් හෙවත් stop watch එකක් නැතිව බැරි බව තේරෙනවානෙ. ඒත් පියදාස බාස්උන්නැහේ ඒ වැඩේ කරන්නෙ ඒ මොකවත් නැතිව. ඒ කොහොමද කරන්නෙ කියල අහපුවාම එයා ඩයල් එක කරකවා "මහා පරාක්රම බාහු" කියා කීවාමයි මට තේරුම් ගියේ කාලය මැනගන්නෙ ඒ වචන කියන්න යන කාලයෙන් බව. ඒවා තමා කර්මාන්ත රහස්. නැතිනම් සේවා ගුරුමුෂ්ටි.

නැතුවත් බෑ ඇතුවත් බෑ

පාවිච්චි කරන අය නොදකින
 ස්වයංක්රී්ය ටෙලිපෝන් හුවමාරුපොල


තාත්තගෙ අම්මා මියගියාට පස්සෙ හදිසි පණිවිඩයක් දෙන්න කියා ගාල්ලෙ මාමාට රණතුංග අන්කල්ලෑ ටෙලිපෝන් අංකය දී තිබුණේ අනෙක් විකල්ප මාධ්‍යය වූ ‌ටෙලිග්රෑම් වලින් පණිවුඩ ලැබීමට විශාල කාලයක්ගතවෙන නිසායි. අපි හැමෝම පාසල් යවා අම්මාත් තාත්තාත් රාජකාරියට පිටත්වීමට සූදානම් වෙත්දියි පොඩි අක්කා හෙවත් රණතුංග අංකල්ගෙ දෙවෙනි දුව ඇවිත් පණිවුඩේ කියල තිබුණෙ ගාල්ලෙ මාමා අන්තරා වෙලා කියලා. අපේ තාත්තා පොඩි මාමා බාප්පා එහෙම එකතු කරගෙනම අපි හැමදෙනාත් එක්කම ගාලු ගියේ මරදානේ ව්‍යාපාර කරමින් සිටි ගාල්ලේ මාමාගේ සහෝදරයින් දෙදෙනාටත් පණ්විඩය දීලාමයි. අපි ගාල්ලෙ බස් නැවතුමෙන් බහිනකොට පාසල් ඇරිලා. මාමාගේ පුත්තු දෙන්නාම බස්නැවතුමේ හිටියේ පාසල් ඇරී ගෙදර යන්නයි. බාප්පා රාජකාරි මොළ කාරයානෙ. එයා රාජකාරි කළේ පොලිස් දෙපාර්තමේන්තුවෙ. ගාල්ලෙ මාමා රාජකාරි කළේ ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලෙ. 

" පුතේ තාත්තා වැඩට ගියාද නැත්තම් ගෙදරද?" එයා ලොකු අයියාගෙන් ඇහුවා. "එයා උදේම වැඩට ගියා" ඒ උත්තරේ ටිකක් විතර අවුල්.එයා කළේ අපිව මාමලාගේ ගෙදරට යවා අයියාත් එක්ක පොලිස් අධිකාරී කාර්යාලෙට යන එක.එතැනදීයි දැනගෙන තියෙන්නෙ මාමා අපි එනබව කියන පණිවිඩයක් ලැබී ගෙදර ගිය බව. අපිට බොරු පණිවිඩේ දීපු කෙනාම එයාටත් පණිවිඩයක් දීලා අපි එනබව කියලා. එයා අපිට කෑම හදන්න එළවලු මාලු එහෙම අරගෙන ගෙදර ගිහිං. පොලිස් අධිකාරී තුමාගෙ උපදේශය වෙලා තිබුණෙ වහාම අපේ වත්තෙ ගෙවල් තුනටම පොලිස් ආරක්ෂාව සලසාගන්න කියන එකයි. " පේන විධියට ඔය ගෙවල් තුනෙන් එකකට අද රොබරියක් දෙන්න සැලසුම් කරලා වගෙයි" එයාගෙ අදහස වෙලා තිබුණෙ ‌එහෙමයි.බාප්පා ඒ සියලු දේ සලසලා ගෙදර ආවෙ හවස තුනට විතරයි. ඒතෙක් අපි හිටියේ විමතියෙන්.අපි එදා හවසම පිටත්වෙලා ගෙදර එනකොට මෙහෙත් හරි හරි දේවල් වෙලා. දෙවියන්ගේ පිහිටෙන් අපටවත් ගෙවල් තුනටවත් කරදරයක් වුණේ නෑ අපරාධ වියදමක් හා ගමන් වලට කාලය වැයවීමක් හැර.බැලුවාම ටෙලිපෝන් නැතුවත් බෑ ඇතුවත් බෑ.

රණතුංග අන්කල්ලා ගැන කියන්න ගිහිං මේ විධියෙ වැල් වටාරම් කියන්නෙ ඒක මගේ ජන්ම ගතිය නිසා. රණතුංග අන්කල් මගේ ආර්ථික ගැටලුව තේරුම් අරගෙන වගෙයි කථා කළේ.

"තාත්තගෙ රස්සාව නැතිවුණාම අයිසෙ දැන් මොකක්ද තමං කරන්න හිතාගෙන ඉන්නෙ?"

" මට හිතාගන්න බෑ අංකල්"

"මං අයිසෙට කරමයක් කියා දෙන්නම්. අයිසෙ කඩදාසි බෑග් හදන වැඩේට බහින්න ලෑස්ති වෙනවා"

අන්කල් හැමදෙනාටම අමතන සාධාරණ ඇමතීම තමා "අයිසෙ". අන්කල් ගැන දන්න කවුරුවත් ඒකට උරණ වෙන්නෙ නෑ.

"ඒවට බඩු කොහෙන්ද අන්කල්?' මං ඇහුවෙ ඒකට උත්තරයක් නොපෙණුනු නිසායි.

'"මේ තියෙන ටෙලිපෝන් ඩිරෙක්ටරි ටික අරගෙන යන්න. ඔය පරණ ඒවායේ වැඩක් නෑ. මේ ටිකෙන් වැඩේ පටන් ගන්න."

මගේ මුල්ම ව්‍යාපාරය වුණේ ඒක. බෑග් සීයක් රුපියලයි. දෙසීයක් ඇලෙවුවහම ඇති සතියේ බස් වියදම කවර්. පස්සෙ සති අන්තයක තව බෑග් තුනසීයක් හදාගත්තාම මාසෙ සීසන් එක ගන්න පුලුවන් වුණා. එහෙමයි වැඩේ පටන් ගත්තෙ.

ඕනෙම දෙයක් අමාරු විධියට කරන එක ඕනෙම මෝඩයෙකුට කරන්න පුලුවන්. දක්ෂයා කළයුත්තේ ඒක ලෙහෙසියෙන් කරන විධිය හොයාගෙන ඒ විධියට කරන එකයි. මේ අදහස තිබුණෙ පෝල් පිලිපිනෝ කියන ඉලෙක්ට්රොණික් ගුරුතුමාගෙ පොතක. ඒකෙන් උපරිම ප්රයෝජන ගත්ත කෙනෙක් මගේ දුව. එතකොට එයා හිටියෙ පස්වෙනි ‌පංතියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින්. අපි අකුරු ගණන් කියා හඳුන්වපු වචනවලින් දක්වා තිබුණු ගණිත ගැටලු තමා ඒවායෙ තිබුණු සංකීර්ණම ගැටලු වර්ගය. ඒ නිසා එයාව වැඩිපුරම යොමු කළේ ඒවාටයි. ඒ පංතියට තිබුණෙ එකතු කිරීම සහ අඩු කිරීම යෙදෙන ගණන් විතරයි. කළ යුත්තේ එකතු කිරීමද අඩු කිරීමද කියා තේරීම තමා හැබෑ ගැටලුව. මං තරමක් සංකීර්ණ ලෙස ලියැවුණු ගණනක් එයාට දීලා ඇහුවේ ඒක අඩු කිරීමක්ද ඒකතු කිරීමක්ද කියලයි. "මේක අප්පච්චි අඩු කරන්න තියෙන්නෙ" එයාගෙ උත්තරේ හරි ඉක්මන්. එයා පස්වැන්නෙම බුධාදිත්‍ය යෝගය තියෙන කෙනෙක්. ඒ නිසා එහෙම වෙන්නත් එපැයි. එහෙම වෙන්නෙ කොහොමද අහපුවාමයි වැඩේ එළිවුණේ. " මේ අප්පච්චි වඩා කියල තියෙන්නෙ. ඒ නිසා අඩුකරන්නයි තියෙන්නෙ" සාමාන්‍යපෙළට ව්‍යවහාරික ගණිතයත් උසස් ගණිතයත් උසස් පෙළට ගණිතයත් හදාරා තිබුණු මටවත් එහෙම දෙයක් හසුවෙලා තිබුණේ නෑ. කොහොම වුණත් වැඩේ හරි.එයා ගණිතයට දක්ෂ වුණාට රසායන විද්‍යාව අසමත් වුණ නිසා විශ්ව විද්‍යාලෙට ඇතුල් වෙන්න බැරිවෙලා පසුව තොරතුරු තාක්ෂණය එක්ක උසස් පෙළ සමත් වෙලා තමා උපාධිය ලබාගත්තෙ.

එයාගෙ උපාධිය එයාට විතරක් 
නෙවෙයි අපිටත් අයිතියි

මං රැකියාවට ගියේ අපේ සීයා රැකියාව කළ දෙපාර්තමේන්තුවෙම සීයාගෙ තනතුරට වඩා උසස් තනතුරටයි. මහප්පා මට සුබපැතුම් ලිපියක් එවා තිබුණේ අමුතු උපදේශයක් එක්කයි. " රස්සාවට ඕනෙ වෙන්නෙ ඉලපත නං ඒකට වැඳලා වැඩේ පටන්ගන්න මතක තියාගන්න" මං ඒ උපදේශය අදටත් ගෞරවයෙන් පිළිගන්නවා. මං කළ රැකියාවල වැදගත් උපකරණ වුණේ පොත්. ඒ නිසා මට පොත් හුඟක් වටිනවා. දැනටත් මගේ පොත් එකතුවේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට වඩා වැඩියි. භාෂා සාහිත්‍ය දර්ශන ආගම්  ජ්‍යෝතිශ ගුප්ත ශාස්තර වගේ  ඒවා. මං සතු චංචල දේපල එච්චරයි.

විවිධ ශිල්ප හදාරා තිබීම මට නිතර උපකාරී වුණු දෙයක්. බොහෝ දේවල් දැනගත්තෙ පොඩි මිනිසුන්‌ගෙන්. ඒවා ජීවිතේට හුඟක් වැදගත් වුණා. මිනිස්සු තමා කරන රස්සාවට අයිති දේවල් ගැන කථා කරන පරිපාලකයො -පාලකයො නෙවෙයි එක්ක වැඩකරන්න කැමති බව මට කියා දුන්නෙ ලාල් අයියා."හැබැයි මල්ලි හොඳිිින් මතක තියාගන්න ඔයා පරිපාලකයෙක් වුණාට පස්සෙ කවදාවත් සුලු සේවකයෙකුගෙන් වැඩේ කරන හැටි අහන්න එපා. එහෙම වෙලාවට එයාල දෙන උපදෙස්වලින් ඔයා අමාරුුවෙ වැටෙන්න ඉඩ තියෙනවා. ඒත් පුහුණුවෙන කාලෙ කැමති කෙනෙකුගෙන් අහගන්න. මොකද ඒ අය කැමතියි තමාගෙ ලොක්කට ඒ දේවල් කියාදුන්නෙ තමා බව කියල සතුටුවෙන්න. එක තැනෙකදි ඒ දේ දැනගත්තෙ ඒ පුද්ගලයගෙන් කියල කියන්න. ඊට පස්සෙ එයා ඉන්නෙ ඔයාගාව." ලාල් අයියාගෙ උපදේශය හරියටම හරි. 

මං විද්‍යුත් අංශයේ ඉන්න කාලෙමයි ප්රින්ටිං අංශයේ සුමනසිරි ගෙන් පිටු 16ක් එකවර මුද්දරණය කරන්න මැටර් එක හදන විධිය අහගත්තෙ. මං නියෝජ්‍ය විදුහල්පති වුණාට පස්සෙ දවසක ප්රින්ටිං අංශයේදි මං ඒක කරන හැටි කියල මං ඒක දැනගත්තෙ සුමනසිරිගෙන් බවත් කීවා. ඒකෙන් වැඩ දෙකක්ම වුණා. එකක් තමා සුමනසිරි මංගැන පැහැදීමක් ඇතිකරගැනීම. එයා ඒක ම‌ගේ  නිහතමානී කම කියලා අගය කළබව මට දැනගන්න ලැබුණා. අනෙක තමා ඒ අංශයේ අය මං එයාලගෙ අංශයේ වැඩ ගැනත් තරමක් දන්න බව දැනගැනීම. ඒක පරිපාලනයට හරි පහසුවක්.

  


5 comments:

  1. දැනුවත් කෙරෙන ලිපියකි මේ post එක
    දෙවෙනි එකට සතියක් යන එකය දුක
    ලාල් අයිය ගැන සඳහන් කරන එක
    ගුරු බැතියෙන් කළෙමි, මෙන්නෝ link ටික

    http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_1.html
    http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_20.html
    http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_29.html
    http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_10.html

    ReplyDelete
  2. එයාගෙ උපාධිය එයාට විතරක් නෙවෙයි අපිටත් අයිතියි - ඒකනම් එහෙම තමා.
    පොඩිපහේ පොත්ගබඩාවක් නැතිකම නම් මට තාමත් දුකහිතෙන කාරනාවක්

    ReplyDelete
    Replies
    1. නමී අහල ඇතිනේ ලොක්කා ඩොක්ටරේට් එක ගන්නකොට ඇසිස්ටන්ට් මාස්ටර්ස් ගන්නවා කියලා.ඒ එයාගෙ වැඩේට අවශ්‍ය උදවු උපකාර කිරීම මගින්.
      පොත් ගබඩාවෙ කථාව නං මං මුල් කාලෙ රැකියාවලින් ලැබුණු වැටුපෙන් සියයට දහයක් දැනුම වර්ධනයට යෙදීමට ගත්ත තීරණයක් ප්‍රතිඵලයක්. අපේ වැටුපෙ හැටියට ඒකේන භෝගේ භුංජෙය්‍ය හරියන්නෙ නෑනෙ. ඒ නිසාම ද්වී කම්මං පයෝජයේත් හරිගියේ නෑ. දේව අර්ථසාධකේට පිං සිදුවෙන්න චතුත්තංච නිධාපෙය්‍ය එකනං හරියටම උණා

      Delete
  3. මම ඉස්සර ඉඳන්ම පොත් කියවන්න වගේම එකතුකරන්නත් කැමතියි. එනිසා තියන එකතුවෙන් සෑහෙන ප්‍රමාණයක් විශ්‍රාම ගිහිල්ලා තමයි සම්පූර්ණයෙන් කියවන්න වෙන්නෙ. දැනට රිෆර් කරනව. පුස්තකාලවලිනුත් ගන්න නිසා ඒවා ඉස්සෙල්ලා කියවෙනව.
    මට තියන ප්‍රශ්නය පොත් තියාගන්න එක. කබර්ඩ් 4යි, රැක් 4යි තිබිලත් මදිවීගෙන යනව. ප්‍රශ්නෙ උග්‍ර වෙන්නේ විෂයයන්ට , කතෘන්ට අනුව වෙනම තියන්න මම ආස නිසා.කොමික් පොත්වල සිට ටෙක්ස්ට් පොත් දක්වා. ගිය අවුරුද්දෙ කෝවිඩ් නිවාඩුවෙදි කැටගරයිස් කලා (ලිස්ට් එක A4 ශීට් 28ක් විතර - කොමික්ස් නැතුව) . නිමල් වගේ යාලුවො පරිත්‍යාගත් කරනවනෙ.
    කබර්ඩ්වලට වඩා මම කැමති රැක්වලට ඒත් මෙහෙ දූවිලි නිසා ඒක ප්‍රායෝගික නෑ (එතනට ඒසී නැත්නම්).

    ReplyDelete
  4. අනේ ප්‍රාජේ මං නං දුප්පතෙක්. ඒ නිසා පොත් වර්ගීකරණයක් නං මගේ පොත් කබඩ් දෙකකම නෑ. පොත් ගොඩ ගහලා තියෙන්නේ වර්ග අනුව නෙවෙයි පොත්වල සයිස් එක අනුවයි.හැබැයි පිටින් පොනෙන පොත්වලට ඇතුලෙත් තව පොත් තියෙනවා.මං කරල තියෙන්නෙ දැනට නිතර ඕනෙවෙන පොත් උදාහරණයක් හැටියට දහම්පාසල් වැඩවලට ඕනෙවෙන ත්‍රිපිටක අටුවා ආදියත් ජ්‍යෝතිශ කටයුතුවලට ඕනෑවෙන ගණිත පොත් හා සංහිතා පොත් ආදියත් අල්මාරි ඇරපු ගමන් පෙනෙන විධියට තියාගෙන ඉන්න එකයි.

    ReplyDelete

කාර්මික අධ්‍යාපනේදී

  විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාල...