අපට අනේ මගක් ඇතේ

 

අපට ඉස්කෝලෙ යන්න තිබුණේ දොළොස්වන ශ්රේණිය දක්වා විතරයි. ඊට පස්සෙ කරන්න දෙයක් ගැන අපි හිතල තිබුණෙ නැහැ. මම විතරක් නෙවෙයි අපේ පංතියේ බ්රයිට් පොරවල් හැරුණාම හැම කෙනෙක්ම.

මං හතේ පංතියෙදි ජාතික නවෝදය ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුල්වුණේ නවයෙ පංතියට. ඒ්කාලෙ දැන් වගේ නෙවෙයි. ශිෂ්‍යත්ව විභා‌ගෙ තිබුණෙ හතේ පංතියෙදියි. ඒ්කෙ පුරස්න පත්තර තුනම තිබුණා. එකක් සිංහල.ඒක කිසි ගැටළුවක් නෑ. කෙළින්ම සීයට අනූවකට එහා ගන්න එක සිම්පල්. අනික ගණිතය. ඒකෙත් කිසි අවුලක් නැතුවම අනූවකට එහා වගකියන්න පුළුවන්. තුන්වැනි එක තමා ගැටළුව. ඒක හරි උත්තරේට ඉරක් ගහන්න තිබුණු එකක්. පුරස්න හතලිහකට උත්තර හොයන්නයි ඉරි ගහන්නයි ඔක්කොටම තිබුණෙ මිනිත්තු හතලිස් පහයි. විභාග ශාලාවෙදි අනෙක් ස්වභාවික සද්ද අස්සෙන් අඩිකෝදු බිම වැටෙන සද්දත් ඇහෙනවා. ඇයි හතලිහකට මිනිත්තු හතලිස් පහකදි ඉරි ගහනවා කීවාම කලබලේ සුළුපටු නෑනෙ. ඒකට කීවෙ අභියෝග්‍යතා පරීක්ෂණය කියලයි.ඒකට අපිව පුහුණු කිරීම භාර වුණේ මගේ හෝඩිය පංතියේ පංතිභාරව සිටි වීරදිවාකර ටීචර්ට. එයා තමා අපට හතේ පංතියෙදි ඉතිහාසය භූගෝල විද්‍යාව ස්වභාව අධ්‍යයනය සහ පුරවැසි පුහුණුව කියන විෂයන් ඔක්කොම එකතුකරල හදල තිබුණු පරිසරය කියන විෂය ඉගැන්නුවෙ. එයා පෙරපෝය දවස්වල විශේෂ පංති පවත්වලා අපිව විභාගෙට හුරු කෙරෙවුවා. අපි හිතාගෙන හිටියෙ පරිසරය පාඩමේ ඉගෙනගන්න දේවල් වලින් කෙරෙන පරීක්ෂණයක් කියලයි. ඒ්ක එහෙම ලේසි කෙළියක් නෙවෙයි බෙල්ල කැඩෙන වැඩක් කියල තේරුණේ ඒ පුහුණු පංතිවලට ගියාමයි.

 ඒ් කාලෙ දැන්වගේ ශිෂ්‍යත්ව පංති තිබුණෙත් නෑනෙ. මං විභාගෙට පෙනී හිටියෙ විභාගෙ ආරම්භ කරල දෙවෙනි අවුරුද්දෙ. මුළු ලංකාවෙන්ම සමත් කරන්නෙ 3500ක් විතරයි. කොහොමහරි ඒ කට්ටියට ඇතුල්වෙලා විභාගෙත් පාස් වුණානෙ. ඒකට නං පින්දෙන්න තියෙන්නෙ ගණිතයත් සිංහලත් උගන්වපු නන්දසේන සර්ටත් අභියෝග්‍යතාවට පුහුණු කරපු වීරදිවාකර ටීචර්ටත් දෙන්නටයි. හයේ පංතියේ ගණිතය උගන්වපු සී. ජේ. ෆ‌ෙඩ්රික් සරුත් අමතක කරන්න බැරි මුළින්ම ජ්‍යාමිතිය හොදටම හදුන්වා දීපු පින එයාට හිමිවෙන්න තියෙන නිසායි.

ලංකාවෙන් 3500ට ඇතුල්වෙලා


හෝඩියෙ පංතියෙදි වාර තුණේම පංතියේ පළවෙනියා වුණු නිසා වීරදිවාකර ටීචර් මට හරිම ආදරෙයි. මං පංතියේ උසම ළමයා වගේම දක්ෂම ළමයා වෙලා හිටිය බව දැනුයි හරියටම තේරෙන්නෙ. ඒ කාලෙ අපේ පංතිවල ඊරිසියාකාර කුහකයො හිටියෙ නෑ. අපි ගල්කූර දෙකට කඩාගෙන ලියපු ඉතිහාසයකට උරුමකම් කියපු පිරිසක්. දහම් පාසලේ මුඩුක්කු පරිසරයේ සිට පැමිණි පිරිස ලගින් සුහදව ඇසුරු කිරීමෙන් ලත් පන්නරය නිසාවෙන් මට පංතියේ ඇසුරු කරන්න බැරි කෙනෙක් හිටියේ නෑ.ඒ ගොඩේ එකවුනටන්ලගෙ පුත්තු ක්ලාක්ලගෙ පුත්තු මුරවැඩ කරපු අයගෙ පුත්තු ටැක්සි ඩ්රයිවර්ලගෙ පුත්තු ලී මෝල්වල ලී ඉරන අයගෙ පුත්තු වගේම ගමේ භූමිතෙල් බෙදන කරත්තෙ වැඩකරන කෙනාගෙ පුතාත් හිටියා. මට ඒ එක් එක්කෙනෙක් වෙන වෙන නමක් විතරයි. සමානාත්මතාවය ගැන දැණුම් තේරුම් නොතිබුණු ඒ කාලෙ අපිට ඒ විධියට හිතන්න පුරුදු වුණේ වීරදිවාකර ටීචර්ගෙ කිරියාකලාපෙ නිසා වෙන්න ඇති කියල දැන් හිතෙනවා.දිමුත් රම්‍යා සහ පද්මසිරි තුන්දෙනා වීරදිවාකර චීචර් බලන්න ගිය වෙලාවක ඒ ගෙදර තිබුණු පිංතූරයකුත් අපේ පංති කණ්ඩායමට යොමු කර තිබුණා.

මං හතේ පංතියේ ඉන්නකාලෙ වෙනකොට පෙඩ්රික් සර් පෙන්ෂන් ගිහිං. දවසක් වීරදිවාකර ටීචර් මට උපදේශයක් දුන්නේ තනිවම ඉන්න වෙලාවක.

තනියම ඉන්නකොට උපදෙස් දීපු
වීරදිවාකර ටීචර්


“අනුර ඔයා හැම දෙයක්ම හොදටම ඉගෙන ගන්න ඔනේ. මොකද අනාගතේ ගුරුවරයෙක් වෙන ලකුණු ඔයාගෙ පෙන්නුම් කෙරෙනව‌‌‌‌‌ කියල‌   ‌ෙෆඩ්රික් සර් කියා තියෙනවා. අපි ගුරුවරු හුඟ දෙනෙක් ඒක දකිනවා”

ඒ් මට අවුරුදු දොළහක කාලෙ ගුරුවරයෙක් වෙන බලාපොරොත්තුවක් තුන් හිතකවත් නොතිබුණු ඩබල් ඩෙකර් බස් ඩ්රයිවර් කෙනෙක් වෙන්න හීන මවපු කාලෙ. කොහොමහරි අන්තිමට වෙලා තිබුණෙ බස් ලයිසමක් තියා මෝටර් සයිකල් ලයිසමක්වත් නැති මං ගුරුවරයෙක් වෙන එකනෙ. ඒ කවුරුවත් මගේ කේන්දරේ දහවැන්නේ බුධ සිකුරු සමග පරිවර්තනයක් හදමින් සිටින බවත් ලග්නයේම ගුරු ආත්මකාරක බලය ලබා සිටින බවත් වර්ණදා ලග්නය ගුරුටත් එහි නවාංශකය බුධටත් අයිති බවත්නොදැනම හරි නිගමනයකට ඇවිත් තිබුණු එකනෙ පුදුමෙ. මාත් ‌ මේ දේවල් එතකොට දැනගෙන හිටියෙ නෑ. මං ඒවා දැනගත්තේ ඊට අවුරුදු හතර පහකට පස්සෙ. උසස්පෙළ ඉගෙනගන්න ඕනෙවෙන සල්ලි හොයන්න කේන්දර හදන්න පටන්ගත්තට පස්සෙ.

කොහොම වුණත් කියන්න ආවෙ ඒක නෙවෙයිනෙ. මේක මගේ ජන්ම ගතියක්ද කොහෙද. ට්රැක් පැන්නොත් ආපහු එන්නෙ හුගක් දුර ගිහිං. ඒකට sorry. සමාවෙන්න.

උසස්පෙළ සමත් වුණාට විශ්ව විද්‍යාලෙ යන්න ලැබුණෙ නෑනෙ. ඒ ලකුණු ප්රමිතිකරණය කියල ගෙනාපු මොකක්දෝ මගුලක් නිසා. ඒක ගෙනාවෙ අධ්‍යාපණ පහසුකම් නැති පළාත්වල දරුවන්ට සාධාරණය ඉටුකරන්න කියලයි කීවෙ. කොහොමහරි ඒකෙන් වුණේ ඈත ගමක එස් හතර ගත්ත කෙනෙකුට විශ්ව විද්‍යාලෙ යන්න පුළුවන් කම ලැබුණට කොළඹ අපිට ඊට වඩා හොඳ සමාර්ථයන් තිබුණත් විශ්ව විද්‍යාලෙ යන්න බැරිවුණු එකයි. ලංකාවෙ අඃ වැරදුණා ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපණයට හැමදාම වුණ් මේ හෙණේම තමා. අර ධර්මසේන හාමුදුරුවො කියල තියෙන ආා යවා තබා වල්පත ගැනීම. ඔබේ නමින් කවි ගී ලියවුණා මදි පෝස්ටුවෙදි කියපු කන්නංගර මහත්තයා ගෙනාව වැඩ පිළිවෙල දිගටම ගෙනගියානං අර කීවා වගේ අධ්‍යාපණ අසාධාරණකම් වෙන්නෙ නෑ කියල අධ්‍යාපන ලොක්කන්ට නොතේරෙන එකනෙ පුදුමෙ.

කළ ගෙඩියක් තරමට තියෙන බඩගෙඩියට ටිකක් උඩ තියෙන වැළ ගෙඩියක් තරම් වුණු ඔළුගෙඩිය ඇතුලෙ අල ගෙඩියක් තරම් විතරවත් මොළ ගෙඩියක් තිබුණා නම් කරන්න තියෙන්නෙ ඒ් පාසල් වලට පහසුකම් දෙන එක මිසක් කොළඹ ඉස්කෝලවල අපේ අවස්ථා කප්පාදු කරන එක නෙවෙයි කියන එක තේරෙන්න තිබුණා. ඊට අවුරුදු දහයකට පස්සෙ තරුණ ජනගහණ කමිටුවට එකතුවෙලා අනුරාධපුරේ පාසල්වල දියත් කරපු ජනගහණ තොරතුරු ලබාදීමේ වැඩසටහනේදී ඒ වෙනකොටත් අඹ ගහක හරි කොහොඹ ගහක හරි කම්බියකින් එල්ලාගත්ත කළුලෑල්ලක් වටේ පොළොවෙ හිටවාපු කොටකෑලි ටිකක් උඩ තියාපු ලෑලි බංකු උඩ ඉදගෙන අකුරු කරණ දරුවොත් ඔවුනට මග කියාදෙමින් දුෂ්කර සේවයේ නිරත වෙමින් තමාගෙ ජීවිතේ ලස්සනම කාලෙ ඒ විධියට ගෙවන තරුණ ගුරු දෙවිවරුත් මුණ ගැහුණා. මේක ගැන වැඩියෙන්ම දුක හිතෙන්නෙ අදත් විසර්ජන පණතේ තියෙන්නේ අධ්‍යාපණ වියදම් මිස අධ්‍යාපණ ආයෝජන නොවෙන නිසා. එහෙම වුණාම ඔය කියන සීයට හයෙන් වැඩක් නෑ කියලයි හිතෙන්නේ.

එකම කාර්මික පාඨමාලාවක්වත් නැතිව



මේ දේවල් කියැවෙද්දි හිතෙන්නෙ ඇත්තටම මගක් නෑ කියලමයි.මේ කියන්න හදන්නෙ මග පාදාගන්න තියෙන්නෙ ගවේෂණයෙන්ම තමා කියන්නයි. කොහොමහරි මං යන එන මං නැතිව හිටපු කාලෙ තමා පත්තරේ දැන්වීමක් වැටුණේ කාර්මික විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ගැන. පර්සි මාමා (එයා ගැන විස්තර ටිකක් නාමෙ නොදිරනා පෝස්ටුවේ කියා ඇත) කියාදී තිබුණු විධියට අතේ පයේ හැකියාව හැදෙන වැඩක් පුහුණුවෙන්න කියා ඒ පාඨමාලාවකට ඇතුල් වුණේ මරදාන කාර්මිත විද්‍යාලයටයි. ඒකෙ තිබුණු පෝස්ටරයක හරි අපූරු සටහනක් තිබුණා. “එකම කාර්මික පාඨමාලාවක් වත් නැති දකුණු ආසියාවේ විශාලම කාර්මික විද්‍යාලය”. මං ඇතුළුවුණු පාඨමාලාවෙ තිබුණු එකම කාර්මික දේ තමා මිණුම් සහ මට්ටම් ගැනීම. වෙන විධියකට කීවොත් surveying and levelling. අපි මැන්නේ දෙහිවල බහු තාක්ෂණික ආයතනයේ ඉඩම. ඒ කාලෙ ඒක හැින්නුවෙ කුස්සිය කියලයි. ඒ ඒකාලෙ ඒකෙ තිබුණෙ ගෑණු ලමයින්ට පමණක් වෙන්වුණු ගෘහ ආර්ථික විද්‍යා පාඨමාලාවක් නිසායි. ඒ ඉඩම මනිද්දිත් හරි හරි දේවල් වුණා. ඒ හැමදේම මෙතැන කියන්න ඕනෙ නෑනෙ. අනෙක් විෂයන් වුණේ ගෘහ නිර්මාණය ආර්ථික විද්‍යාව සහ ගණකාධිකරණය. අද කරණ වාස්තු උපදේශනයේදී ඒ ඉගෙනගත්ත ගෘහ නිර්මාණ දැණුමත් සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ අවුරුදු හතක් දැරූ ගරු භාණ්ඩාගාරික තනතුරටත් අවුරුදු ඒකොළහක් දැරූ ජ්‍යෝතීර් විද්‍යාඥ සංගමයේ ගරු භාණ්ඩාගාරික තනතුරටත් අදාල කටයුතු වලදී ගණකාධිකරණ දැණුමත් උපයෝගී වුණු බව නො කියාම බැහැ. පාඨමාලාවට සම්බන්ධ වෙලා හිටපු කරපුටුගලයා බෙලිගලයා සුසන්තයා විතරක් නොවයි සුජාතාත් අන්තෙටම කළකිරිලා හිටියෙ ආර්ථික විද්‍යා  පාඩම ගැන. (කරපුටුගලයාගෙ ගම මාතර කරපුටුගල. බෙලිගලයා බෙලිගල. ඌව පළාතෙ බෙලිගල නෙවෙයි සබරගමුව පළාතෙ බෙලිගල. ඒ ගම් නිසායි එයාලාට නම් වැටුණෙ.) ඒ ඉල්ලුම් වක්රය සැපයුම් වක්රය වමට දකුණට විතැනි වීමෙන් කියැවෙන දේ වක්රය ඇදීමෙන්ම තේරුම් ගන්න පුළුවන් තරමේ ගණිත දැනුමක් තිබුණු උසස්පෙළ ගණිතය සාමාන්‍යපෙළ උසස් ගණිතය වගේ විෂයයන් හදාරා සිටි අපට පිටු ගනන් හෑලි සටහක් ලියවමින් කළ දේ ගැන ඇත්තටම තිබුණෙ තරහක්. ඒක තේරුම් ගත්ත නිසා වෙන්න ඇති ඒ සර් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව තේරෙන විධියට කීවොත් NDT පාඨමාලාවට ඇතුල් වෙන්න කියා කියන්න ඇත්තෙ. කොහොමහරි කරපුටුගලයා හැර අපි අනික් හතර දෙනාම NDT කරන්න එකතු වුණා. සුසන්තයාත් බෙලිගලයාත් කළේ Civil Engineering. මාත් සුජාතාත් Electronic and Telecommunication Engineering.

වෙන විධියකට අපේක්ෂා දිනමින්

පාඨමාලාවෙ පළමුවෙනි අවුරුද්ද පොදු පාඨමාලාවක්. ඉංජිනේරු ගණිතය ඉංජිනේරු රසායන විද්‍යාව ඉංජිනේරු භෞතික විද්‍යාව යාන්තිරික ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු ඇදීම  ඉලෙක්ට්රොණික මිණුම් විද්‍යාව වැඩහල් තාක්ෂණය හා පුහුණුව ව්‍යවහාරික විදුලි ශිල්පය කියන විෂයයන් අටට අමතරව ඉංගිලිෂි භාෂාවත් ඒ පාඨමාලාවෙදි හැදෑරුවා. ඊලග වසර ඇරඹුණේ විශේෂීකරණ පාඨමාලාවට තෝරාගැනී‌මේ විභාගයකින්.අප්ප කොළ දේ පුතා නොකොළොත් නොට්ටිගෙ පුතා වෙනව කියන හින්දා මං දැඟලුවෙත් ඉලෙක්ට්රොණික් අංශය තෝරාගන්නයි. සිකුරාදා තිබුණු විභාගෙ ප්රතිඵල සදුදා විදුලි අංශයේ දැන්වීම් පුවරුවේ දාලා. මං මගේ නම තියෙන්න ඕනෙ හරියෙ බැළුවා. දෙයියනේ මගේ නම නෑ. ලොකු ජයන්තයි කොට ජයන්තයි චම්පිකායි රමණියි ඒතැනට ආවෙ ඒ වෙලාවෙයි. අපි එකම කණ්ඩායමේ හිටපු නිසා එකටම ගොඩ යන්නයි පැතුවෙ. “හරි නේද? “ රමණී ඇහුවෙ සතුටින්. එයාලා හැමෝම තේරිලා. “මොන හරියක්ද මං නෑ” මට කියැවුණේ ඉබේටම. “නිකම්ම නෑ කියන්නෙ නැතුව ඇස් දෙකම හොදට ඇරලා බලපං උඩින්ම බැබලි බැබලි ඉන්නෙ කවුද කියල” එයා කියනවා. මං එතකොටයි ලැයිස්තුවෙ උඩ බැළුවෙ. හැබෑව නේන්නං මේ මං ඉන්නෙ උඩිංම. “මං හිතුවෙ නෑ පළවෙනියටම ඇති කියල” මගේ ඒ් කියමනට දේශනාව චම්පිනාගෙන්. එයා පවුලේ වැඩිමලා හැටියට ඉපදිලා නිසාද නැතිනම් ගුරුවරයෙකුගෙ පෙම්වතිය වෙලා හිටපු නිසාද කොහෙද එයා තමා අපේ කණ්ඩායමේත් අක්කා. “මං හොදට බලල තියෙනවා උඹ උඹ ගැන හිතන්නෙ අඩුවෙන්. ඕක හදා නොගත්තොත් උඹට ලොකු වරදක් වෙයි” සිගාලෝවාද සූත්තරේ අත්ථක්ඛායී මිතුරා කීවෙ ඒ වගේ කෙනෙකුට වෙන්න ඇති.

විශ්ව විද්‍යාලෙදි මං වෙනුවෙන් සටහන් ලීවෙ ගෑණු ළමයි කීප දෙනෙක්. මං ඒක ඉතා දක්ෂ ලෙස කළා ලොකු සම්බන්ධීකරණයකුත් එක්කම. ඒ හැමකෙනා ලගම මං දීපු හාප් ෂීට් වගේම කාබන් කොළත් තිබුණා. මට පිළිවෙලට රූල් නැති කොලේක කෙළින් ලියන්න බැරි නිසා මං පරීක්ෂණාගාර ප්රතිඵල ලියන්න එහෙම තුනී වැනිස්ටාර් බෝඩ් එකකට ක්ලිප් එකක් සවිකර තියාගෙන හිටියා. කළු පාට පෑනකින් තදට ඉරි ගැසූ කොළයක් ඒකට සවි කරලා ඒ උඩින් සුදු කඩදාසිය තියාගෙනයි මං ඒවා ලියුවේ. COURSE WORK ලියුවේත් එහෙමයි. කළුපාට කැප් තොප්පියයි අර කිහිලිගන්නගෙන යන බෝඩ් ඒකයි වාටි ඉරුණු ඩෙනිම්  කලිසමයි චේගුවේරාගේ වගේ රැවුලයි තමා මගේ බාහිර පෙණුම.  ඒ පෙණුමට ජූනියර් බැච් එකේ කෙල්ලො හුගක් බයෙන් හිටපු බව මං දැනගත්තෙ අපේ බැච් එකේ කෙල්ලන්ට එයාලා කියා තිබුණු දේවලින්.


අද තැනත් වෙනස් වැඩෙත් වෙනස් ITUM


කොහොම හරි අවසාන විභාගෙ වෙනකොට අපි හැමෝටම රත්වෙලා. අපි කරල තිබුණෙ එදිනෙදාම අනිවාර්යයෙන්ම කරන්න තිබුණු COURSE WORK විතරයි. හැමෝටම පාඩම් කරන්න බැරිවෙලා. පොතේම එල්ලීීගෙන පාඩම් කරපු ක්රෑමොත් හිටියෙ නැතුවම නෙවෙයි. අපේ ක්ලික් එකේ නෑ. අන්තිමට තක්කුමුක්කු වුණාම කරන්න උණේ මිතුරන්ගෙන් පිහිට පැතීම. 

එකම පංතියේ සිට මහාචාර්ය පදවිය දක්වා

උපදේශය ලැබුණේ පංති මිතුරෙක් වුණු උදය අන්නක්කගේ මිතුරාගෙන්. දැන් එයා මහාවාර්ය උදය අන්නක්කගේ. හැබැයි මුළ හොදටම මතක තියෙන මහත්තයෙක්. මං පස්සෙ කාලෙ ඉංජිනේරු ආයතනයේදීත් විවෘත විශ්ව විද්‍යාලයේදීත් එයාගෙ පංතියේ ගෝලයෙක් හැටියට ඉන්නකොට පාඩම කියාදීලා හිමින්ම ලගට ඇවිත් “උඹට මං කියාදීපු දේ හොදටම තේරුණා නේද?” කියල අහන්න තරම් නිහතමානී කෙනෙක් එයා.  “ හැමෝම හැමදේම දැන්  පාඩම් කරන්න යන්න එපා. කට්ටිය කථාවෙලා පාඩම් කොටස් බෙදාගෙන පාඩම් කරල අනෙක් අයට කියාදෙන්න.උඹත් කොටසක් භාර අරගෙන මගේ ලගට වරෙන් මං උඹට කියාදෙන්නං. උඹ ඒ ටික යාළුවන්ට කියාදීපං” උදයගෙ උපදේශය වුණේ ඒක. “උඹල එක එක තෝර ගනිල්ලා. ඉතුරු වෙන එක මං ගන්නං”  මං කීවෙ මිතුරා විශ්වාස නිසා. හැමෝම කොටස් තෝරාගෙන මගේ කොටස ඉතුරු කරලා. Power System Protection. උදය මගේ කොටස ගැන ඇහුවාම මං උත්තර දුන්නා. ඒ් වෙලාවෙ එයා අහපු දෙයිනුයි මට වැ‌‌ඩේ දිග පළල තේරුණේ. “ ඈ බං උඹට වෙන එකක් තිබුණෙම නැද්ද තෝරගන්න?” කොහොමහරි එයාගෙත් උදවුවෙන් අපේ කට්ට්ය හැමෝම ගොඩගියා.ඒ නිසාමයි මං කියන්නෙ අපට ගොඩයන්න මගක් තියෙනවා කියලා. ඒක හැදිලා තියෙන්නෙ කළණ මිතුරු සම්පත්තිය එක්කයි.

අමාවතුර ලියාපු ගුරුළුගෝමී පඩිතුමා තමාගෙ පැතුම කරන්නෙ මෙහෙම.

කුදිට්ඨං පාප මිත්තංච නභවෙය්‍යං කුදාචනං

හිත චිත්තේන සත්තානං භනෙය්‍ය මධුරං ගිරං

ඉත්ථිධුත්තෝ සුරා ධුත්තෝ නභවෙය්‍යං කුදාචනං

කිලේසවසිකෝනේව චරෙය්‍යන්තු භවාභවේ

යාවහං පවරං බෝධිං නාධිගච්ඡාමි සබ්බථා

සතතං ථාවරක්ඛෙය්‍යං දස කම්මපථං සුභං

 

මිසදිටු පවිටු මිතුකැල ඇසුර කිසිදා නොවේවා

සුපහන් වූ සිතෙන් මිහිරි වචනම බෙණේවා

ඉතිරි ලොල් සුරා ලොල් ගති කිසිදා නොවේා

සසර සැරි සරද්දී කෙළෙස් වසඟට නොයාවා

උතුම් වූ නිවණට යම් දිනක පත්වන තුරැ

දස කුසල කම් වෙත ඇලී ඒවා රකිම්වා

 

9 comments:

  1. ඕකයි අනුර රට පුරාම ඇති තත්තේ
    සැලසුම නැතිකමයි පෙනෙනුයෙ හැම පැත්තේ
    තම-තම නැණ බලෙනි ගොඩ යාගත යුත්තේ
    ගුරු දෙවිවරු විසිනි මඟ පෙන්වනු ඇත්තේ

    ReplyDelete
  2. යවහන් නැතිව ඔය වගෙ කවි ලියැවෙද්දී
    ඒගැන යොමුවීම හොඳටම පෙන්වද්දී
    පිළිතුරකට හොඳට ඉඩකඩ පවතිද්දී
    අහක බලා යෑම හොඳනෑ නේද නිදී

    ReplyDelete
  3. අහක බලනවා කියලා හිතුණාද
    දිග පිළිතුරු මං ලිව්වම හරි යයිද
    වැදගත් ඔබේ කෝණෙන් කීමයි නේද
    ඉඩදී එයට කොනිත්තලා යමි සුහද

    ReplyDelete
  4. දැන් සිස්සත්තෙ කියන්නේ අම්මලගෙ විභාගෙනෙ. කොළ පුරවන අද්දයාපනය පිරිපුන් මිනිසුන් නොතනයි. ඉතින් කලණ මිත්‍රත්වයත් ඉතා දුර්ලභයි

    ReplyDelete
  5. හරියට හරි නමි.
    හරි තොරතුරු වලින්ම කොළ පුරවනවානම් එහෙම වෙන්න බෑ,නිපුණතා පාදක අධ්‍යාපනය කියන දේ තමා එදා දිසාපාමොක්ගෙ තක්කශිලා විශ්ව විද්‍යාලෙ තිබුණෙ.
    එදා අපේ පාසල්වලත් තිබුණා සමුච්චිත ලේඛණය කියලා දරුවන් ගැන ගුරුවරුන්ගේ දැක්ම ගැන ලියැවෙන සටහන් පොතක්. ඒක රහස්‍ය ලේඛණයක්.ගුරුවරුනට පමණයි බලන්න ලැබෙන්නෙ. මට අහඹු අවස්ථාවක් ලැබුණා මගේ එක කියවන්න. ඒකෙ මං ගැන පුදුම නිරීක්ෂණ ටිකක් තිබුණා. මං ඒකෙ තිබුණු අඩුපාඩු හදාගන්න එදාසිට උත්සාහ කළා.
    ඒකාලෙ ගුරු විද්‍යාලවල ළමා නිරීක්ෂණය වැදගත් විෂයයක්.අද ඒවා නැතුවද දන්නෑ.ඒවත් මේ පිරිහීමට බලපාන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජිනදාසතුමෝ බටහිර සූට් එකට අනුගත බොඩි ටිකක් මෙහෙ හදන මැසිම වෙච්ච එකනෙ අධ්‍යාපනය කියල කෙරෙන්නෙ. සාරධර්ම ඇති, ගුණගරුක, මානවවාදී, කලාත්මක කියන දේ මේ අධ්‍යාපන රටාවෙන් ගොඩ ගැනෙන්නෙ නෑ. රැකියාවකට රොබෝවරු හදන මැසිම අධ්‍යාපනය වෙලා. මරණතෙක් කන්න දිදී කූඩු කරලා ඉන්න ඌරු කොටු වගේ. ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ නායකයෝ හරි රට ගැන හිතයි කියල පවා අපි හිතන් ඉන්න එක වැරදි.

      Delete
  6. හරියට හරි නමී.මේ උදාහරණෙ හමුවුණේ දහම් පාසල් 8 ශ්‍රේණියෙ පෙළපොත ඉංගිලිෂියට පෙරළන්න භාරවුණු වෙලාවෙ.
    22 පාඩම උතුම් අභිඤ්ඤාලාභී තෙරණිය නමින් දක්වා තිබුණේ යසෝදරාව ගැන.ඒක අයත් කරල තිබුණෙ පොදු නිපුණතා 2 යටතටයි. ඒ බුදධ චරිතය හා චරිතකථා දැන චරිතායනය කරයි කියන නිපුණතාවට. ඒකෙ ඇගයීමට තිබුණු ප්‍රශ්න හතරෙන් එකක විතරක් ඒ චරිතයක් ගතහැකි ආදර්ශ හතරක් නම් කරන්න තිබුණා. පාඩමේ වත් තමා කර්කෂ ජීවිතයක් ගෙවුවත් රාහුල කුමාරයා සුකුමාලව රජ කුමාරයෙක් වගේ ගුණගරුකව හදාගත් බවට සඳහනක්වත් නෑ. ඉතිං කොහොමද ඒකෙන් බුදු අම්මෙක් නොවුණත් හොඳ අම්මෙක් වෙන්න දැරියක් යොමු වෙන්නෙ?
    ඔය එකක් විතරයි. යුරෝ බිලියන 5600ක ණයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන කාර්මික අධ්‍යාපනයට කරල තියෙන කෙළවිල්ල ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්න සැළසුම් කරල තියෙනවා. එතකොට තව කියන්නං.එතකං ඔහොම යං!

    ReplyDelete
  7. උදය අන්නක්කගේ මැනිටෝබා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.
    බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක් ඒ වගේම ඔහුගේ බිරිඳත් ඉතා ගුණ යහපත් කෙනෙක්.

    ඔබ සැමට ජයවේවා!
    Myself Hattor

    ReplyDelete

කාර්මික අධ්‍යාපනේදී

  විශ්ව විද්‍යාලෙන් පිටවෙලා ගෙදර ඉන්න කාලෙ කළේ යාළුවන්ගෙ ගෙවල්වල පොඩි පොඩි වයරිං වැඩ කරන එකයි.සල්ලි වලට නෙවෙයි. තැංක්‍යු වෙරිමච් එකට. එයාල...